(10) අසිරිමත් නවම් පෝය වර්ණනාව ... - IFBC Organization | Dhamma

බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය.

ප්‍රථම මහා සංඝ සන්නිපාතය Frist ongregation පැවැත්වූයේද නවම් පොහෝ දිනයේදීය.

බුද්ධ ශාසනයේ අග සවු සැරියුත් මුගලන් දෙනම, එකී සම්භාවනීය තනතුරු වලට පත්වීමද, නවම් පොහෝ දිනයකදී සිදු විය.

තථාගත බුදුපියාණන් වහන්සේ, සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් නවම් පොහෝ දිනයකදීය.

බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදු කළේත්, නවම් පෝය දිනකදීය.

මෙවන් වැදගත් සිදුවීම් නවම් පෝය දිනයේදී සිදුවීම නිසා, ඒවා අනුස්මරණය කරමින් බොදු සිරිතට අනුව තම ජීවිත සකස්කර ගන්නට කිසියම් උත්සාහයක් දැරීමට, බොදු සැදැහැතියන් නවම් පෝය දිනයේදී අදිටන් කරගන්නවාට සැකයක් නොමැත. සිරිලක වෙහෙර විහාර බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන දිනයකි, නවම් පෝය දිනය. දාන-ශීල-භාවනා-ආදී වටිනා කාර්යයන්හි යෙදෙන බෞද්ධ බැතිමතුන්ගේ එකම අදිටන මුළු මනින් බෞද්ධ ප්‍රතිපත්තිවලට මෙදින මුල්තැන දීමයි.

නවම් පොහෝදිනයේදී ශාසනික සිදුවීම් සිදුවූ වැදගත් ස්ථාන අතරින් රජගහ නුවර වේළුවනාරාමය ප්‍රධාන ය. එයට හේතුව ප්‍රථම මහා සංඝ සන්නිපාතය එහි පැවැත්වීමයි. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂූන්ද, සැරියුත්, මුගලන් දෙනම මෙම ප්‍රථම මහා සංඝ සන්නිපාතයට සහභාගිවූහ. එක්දහස් දෙසිය පනහක් මහා රහතන් වහන්සේ මැද වැඩ සිටි තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම සේණාධිපති සාරිපුත්ත හා මහාර්ධිලාභී මුගලන් දෙනම පිළිවෙලින් දකුණත් සවු සහ වමත්සවු තනතුරුවලට පත්කරන ලදී.

සංඝ ශාසනයේ ජ්‍යෙෂ්ඨ හිමිවරු කීප නමක්ම සිටියදී , ජ්‍යේෂ්ඨත්වයක් නැති සැරියුත්-මුගලන් දෙනමට අග්‍ර ශ්‍රාවක තනතුරු ලබාදීම පිළිබඳ භික්ෂූන් අතර විවිධ කතා ඇති විය. බුදු දහමේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාද ලක්ෂණයක් නම්, කිසියම් සැකයක් ඇතිවූ විටත් ඒ ගැන ප්‍රශ්න කරන්නට ඇති අයිතියයි. බුදුන් වහන්සේ කරුනු පැහැදිලි කරමින් දෙසා වදාළේ.

මහණෙනි, පංචවාර්ගික භික්ෂුහු, යස භික්ෂුව, භද්‍ර වර්ගික භික්ෂුහු තුන් බෑ ජටිල යන හැමදෙනාම විවිධ ප්‍රාර්ථනා සහිතව පින් කළහ. අග සවු පදවි පතමින් පින් කළ දෙදෙනා වූයේ සැරියුත් – මුගලන් දෙනමයි. එමනිසා ඒ දෙනම එකී තනතුරුවලට පත් කළ වග බුදුන්වහන්සේ පැහැදිලි කර දුන් සේක.

සැරියුත් හිමියන් බමුණු මහ සල් කුලයෙහි උපන්නේ මෙයට අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙරය. එදා ඔහු ‘සර්දා’ නම් විය.

මුගලන් හිමියන්ද උපන්නේ මහසල් කුලයේ ය. හේ නමින් සිරිවඩ්ඩ නම් විය.

මේ දෙදෙනා අඹ යහළුවෝ වූහ. සර්දා, තම පියාගේ ඇවෑමෙන් ලද ධනය දුගී, මගී, යාචකයන්ට බෙදා දෙමින් මෝක්ෂය සොයා යමින් පැවිදි විය.

එදවස අනෝමදස්සි නමින් බුදු කෙනෙක් පහළ වූහ. උන්වහන්සේගේ අග සව්වන් වූයේ නිසග සහ අනෝම ය. අනෝමදස්සි බුදුන් වහන්සේ සාරද තවුසන් හමුවන්නට වැඩම කළහ. උන්වහන්සේ දහම් දෙසුමට සවන් දුන්නද රහස් ඵලයට පත්නොවිණ. එයට හේතුව, සාරද අනාගතයේ බුදුබව ලබන ගෞතම බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කළ බැවින්ය.

ගෞතම බුදුරදුන් පහළ වූ කල මුගලන් තෙරුන් උපත ලැබුවේ කෝලිත බමුණු ගමේය. මොග්ගලී නම් බැමිණියගේ පුත්‍රයාවූ බැවින් ඔහු මොග්ගල්ලාන නමින් ප්‍රසිද්ධ විය. රූපසාරී නම් බැමිනියගේ පුත්‍රයා සාරිපුත්ත නම් විය.

පසුව ධරම සේනාධිපති වූ සැරියුත් මාහිමියෝ ප්‍රඥාව අතින් අග තැන සිටි ශ්‍රාවකයාණෝ වූහ. සෘද්ධිවන්ත භික්ෂූන් අතර ප්‍රමුඛයා වූයේ මුගලන් තෙරුන්ය.

නවම් පුනු පොහෝදා සැරියුත් – මුගලන් දෙනමට අගසව් තනතුරු ලබාදීමෙන් අනතුරුව, මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය, අප තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කළසේක. බුද්ධ ශාසනය ප්‍රථම වසර විස්ස තුළදී ඉතා විනයගරුකව පැවැතිණි. එම නිසා එම කාලය තුළදී තමන්ගේ ගෝලයන් වූ භික්ෂූන් වහන්සේට විනය ශික්ෂාපද පැනවීමක් අවශ්‍ය නොවීය. මේ නිසා ආණාප්‍රතිමෝක්ෂය දේශනා කරන්නට අවශ්‍යතාවක් පැන නැඟුණේ නැත. ආණ, ප්‍රතිමෝක්ෂය ‘අණ කිරීමක්, ලෙස හැඳින්විය හැකිය. ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුන් වහන්සේ භික්ෂූන්ට දේශනා කොට වදාළේ, නවම් පුණු පොහෝ දිනකදීය.

සැරියුත් – මුගලන් යන අග සවු හිමිවරුන් පිරිනිවන් පෑමෙන් පසුව, ගෞතම බුදුන් වහන්සේ රජගහනුවරින් පිටත්ව ගොස් චාපාල චෛත්‍යය අබියසදී ආනන්ද හිමිපාණන් හමුව සතර ඉර්ධිපාද වැඩු අයකුට අවශ්‍ය නම් කල්පයක් වුවද ජීවත්විය හැකි බව ප්‍රකාශ කළහ.

එහෙත් ආනන්ද හිමියන්ට බුදුරදුන් කරන ලද ඉල්ලීම පැහැදිලි නොවිණි. එබැවින් නවම් පුණු පොහෝ දිනක බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ සේක.

නවම් පුන් පොහෝ දින සිදුවූ තවත් වැදගත් සිද්ධියක් ලෙස මහා සංඝයා වෙත ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව සිදු කිරීම සැළකිය හැකිය. බෞද්ධ ශාසනයේ මුල් වසර 20 ක කාලය තුළදී විනය කර්‍ම කිරීමේ සිද්ධීන් නොවූ නිසා ශික්ෂාපද පැනවීමක් සිදු නොවීය. ඒ කාලයේ ශ්‍රාවකයන්ට හික්මීම පිණිස උපයෝගී වූයේ, ඕවාද ප්‍රාතිමෝක්ෂයයි.

ආණා ප්‍රාතිමෝක්ෂ දේශනාවක් එකල සිදු නොවීය.

තමාගේ ගැලවුම්කරුවා තමන්ම බවත්, විමුක්තිය උදාකරගත හැකිවන්නේ, තමාගේ උට්ඨාන වීර්යයෙන් බවත් එසේම විමුක්තිය, ලබා ගැනීම දෙවියන්ගේ ආධාරයෙන් කළ නොහැකි බවත්, අප අවධාරණය කළ යුතුය. තමා අපේක්ෂා කරන විමුක්තිය, නිවන පසක් කරගත හැකි වන්නේ තමාගේම ස්වශක්තියෙන් ය. සියලු සත්ත්වයන්ට මෙත් පතුරුවා සමස්ත ලෝ වැස්සන්ට දයාව, කරුණාව, මෛත්‍රිය පැතිරවීමෙන් පමණකි ඔබට විමුක්තිය උදාකරගත හැකි වන්නේ, මෙම ප්‍රකාශය සඳහන් ඇත්තේ මහාචාර්ය එලියට් විසින් ලියන ලද බුඩිසම් ඇන්ඩ් හින්ඩුයිසම් යන ග්‍රන්ථයේය.

බොදු ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු උන නවම් පුන් පෝදා ඔබත් ජීවිතයේ එක් වරදක් හෝ නිවැරදි කරගැනීමට උත්සාහ කරන්නේනම් ලොව්තුරු බුදුපියාණන්ට සිදුකරන ඉහලම ගෞරවය එය බව සිහි තබාගන්න.

එවන් උත්තරීතර පොහොයදිනයක අපිද ජීවිතයේ එක් වරදක් හෝ නිවැරදි කරමින් සම්බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා තබමු.

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

(11) අසිරිමත් මැදින් පොහොය වර්ණනාව ...
(09) අසිරිමත් දුරුතු පෝය වර්ණනාව ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.