(03) අසිරිමත් ඇසළ පෝය වර්ණනාව …

ඉන්දියාවේ මෙන්ම අප රටෙහි ද ස්වභාව ධර්මයා මඟින් ඇසළ සමය තුළ සශ්‍රීක භාවය ලබාදීම නිමිති කරගෙන ඇසළ උත්සව පැවැත් වූ බව, පැරැණි පත පොතෙහි සඳහන් වෙයි.

සිද්ධීන්ගෙන් බහුල ඇසළ මාසය, බෞද්ධ ජනයාට කිහිප අතකින් වැදගත් වෙයි.

වෙසක් පොහෝ දින, අප තිලෝගුරු බුදුපියාණන් ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල් කරුණු සම්බන්ධයෙන් ද, පොසොන් පෝ දින දෙවන පෑතිස් රජ සමයේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම ලක්දිවට ගෙන ඒම සම්බන්ධයෙන් ද බෞද්ධ ජනතාවට කොතරම් වැදගත්වේද, ඒ හා සමාන වැදගත්කමක් ඇසළ පොහෝ දිනට ද ලැබී ඇත.

බුදු සමයට අදාළ සිදුවීම් රාශියකට මෙම ඇසළ පෝ දිනය සම්බන්ධ වීම නිසා, එය බෞද්ධ ඉතිහාසයෙහි උසස් තැනෙකලා සැලකිය හැකි ය. සද්ධර්ම රත්නාවලිය පොතෙහි කර්තෘ ධර්මසේන හිමියන්, එහි දැක්වූ අගසව් කථාවෙන් පෙන්වා දුන් පරිදි, ‘ගිරග්ග සමජ්ජ’ නම් සැණකෙළිය ද, වීදාගම මා හිමියන් විසින් ගුත්තිල කාව්‍යයෙහි දක්වා ඇති මෙවැනිම වූ උත්කර්ෂවත් අන්දමින් පවත්වාගෙන යමින් තිබූ සැණකෙළිය ද , සැණකෙළි පැවැත්වීම, පෙර සිටම පැවත එන්නක් බවට සාක්‍ෂි ය. මේවා ඇසළ උත්සව යැයි නිශ්චික ලෙස සඳහන් නොව වූවද , බුදු දහමේ උපතටත් පෙර සිටම එවැනි උත්සව පැවැති බව සිතා ගත හැකි ය.

මේ අනුව ඇසළ පුන් පෝයෙහි ඇති වදගත්කම මෙලෙස දැක්විය හැකිය.

බෝසත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීම
සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය සිදුවිම
බුදුන් වහන්සේ බරණැස ඉසිපතනයේ දී පසවග තවුසන්ට දහම් දෙසිම
ප්‍රථම ධර්ම සංගායනාව රජගහනුවර වේහාර ධර්ම මණ්ඩපයේ දී පැවැත්වීම
රාහුල කුමරුගේ උපත සිදු විම
භික්ෂූන් වහන්සේලා පෙරවත් විසීම
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු භික්ෂූන් ගෙන්වා මෙරට උපසම්පදාව නැවත ඇති කිරීම
රුවන්වැලි සෑයේ මුල්ගල පිහිටුවීම
මහනුවර, කතරගම, බෙල්ලන්විල, රත්නපුර, දෙවිනුවර, අලුත්නුවර, ඇම්බැක්කේ ඇසළ පෙරහැර පැවැත්වීම

සෑම බෞද්ධයකු ම දන්නා පරිදි අප බෝසතාණෝ මහාමායා දේවිය කුස පිළිසිඳ ගන්නා ලද්දේ ද ඇසළ පොහෝ දින දී ය. නෙළුම් මලක් හොඬින් ගත් සුදු ඇත් පැටවකු තම යහන වටේ තෙවරක් පැදකුණු කොට වම් ඇකයෙන් තම කුස තුළට පිවිසෙනු, මහාමායා දේවිය සිහිනෙන් දුටුවා ය. බුද්ධ චරිතය ඇසළ මාසය හා සම්බන්ධ වූ මුල්ම අවස්ථාව මෙයයි. දේවිය දුටු එම සිහිනයේ ගුණ දොස් විචාළ විට, උගත් බමුණන් කීවේ, අති උත්තම දරු උපතක් පිළිබඳව යි.

එම දරු උපත මුළු ලොවටම සිදු කළේ උතුම් මංගලයකි. ඇසළ පොහොය නැවත වරක් සම්බන්ධ වන්නේ, එකම දිනයක දී වැදගත් වූ සිද්ධි දෙකක් සිදුවීමේ හේතුවෙනි. සිදුහත් කුමරු සියලු යසඉසුරු සම්පත් හැර ගිහි ගෙය කෙරෙහි කලකිරී, මහබිනික්මන් කිරීම හා තම ආදරණීය බිරිය යසෝධරා දේවිය රාහුල කුමරු ලොවට දායාද කිරීම යන මංගල කාරණා ඒ වැදගත් සිද්ධි දෙකයි.සුද්ධෝදන රජතුමා තම පුතු ගිහි ගෙහි රඳවාගෙන සක්විති රජකම ලබාදීම පිණිස ගත් සියලු තැත ද ව්‍යවර්ථ වී ගිය අතර, මහබිනික්මන් ගමනට බාධා කළ වසවත් මරු කීවේ,

මා නික්බම මහාවීර
ඉතෝ තේ සත්තමෙ දිනෙ
දිබ්බන්තු චක්ක රතනං
අද්ධා පාතු භවිස්සති

මහා වීරය; නො යනු මැනවි. අදින් සත්වන දවස, ඒකාන්තයෙන් ම ඔබට සක්විති රජකම ලැබෙන්නේ ය, යනුවෙනි. තමා අතැ තිබූ සක්විති රජකම අලුයම හෙළූ කෙළ පිඩක් සේ ඉවත ලා, ඒ ගැන අල්ප මාත්‍රයක තැකීමක් පවා නොකොට, දෘඪතර අධිෂ්ඨානයෙන් යුතුව ඇසළ පෝ දින ගිය එම ගමනින්, තුන් ලොවටම සිදුවූයේ මහා මංගල්‍යයකි.

ඇසළ පොහොය ඉතා ශ්‍රේෂ්ඨත්වයෙහි ලා සැලකිය හැකි තව සිදුවීමක් බෞද්ධ ඉතිහාසයෙහි දී පෙනෙයි. සය වසක් දුෂ්කර ක්‍රියා කොට, වෙසක් පුර පසළොස්වක පෝ දින බුද්ධත්වය අවබෝධ කරගත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම, ධර්ම දේශනාව සිදු වූයේ ද ඇසළ පොහෝ දිනයේම ය.

බව සසරින් ගොඩ ඒමේ මාර්ගය සොයමින් ගිය සිදුහත් තවුසන්ට ප්‍රථමයෙන්ම හමුවූ ආළාර කළාම, හා උද්දකාරාම යන තවුසන්ට පිහිටවීමට ඔවුන් සොයා බැලූ නමුත් ඔවුන් ඊට පෙර දින මිය ගොස් ඇති බව දුටු බුදුරජාණන් වහන්සේ, තමන්ට ඇප උපස්ථාන කළ පස්වග මහණුන් සොයා ගොස් ඉසිපතන මිගදායේ දී දෙවි බඹුන් සහිත මුළු ලෝ සතුන් වෙත පතල මහා කරුණාවෙන් ඔවුන්ගේ ධම්ම චක්ඛුසය පහළ කරවනු පිණිස අත්තකිලමථානු යෝගය හා කාම සුඛල්ලිකානු යෝගය යන අන්ත දෙක පැවිද්දකු විසින් නො සෙවිය යුතු බවත්, මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කර ගැනීම සසරින් ගැලවීමට ඇති එකම මාර්ගය බවත්, දේශනා කරමින් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කොට වදාළේ, ලෝ වැසියන් තුළ පැවැති මෝහාන්ධකාරය දුරු කරමිනි.

බුද්ධත්වයෙන් පසු පළමු වස් විසීම සිදු වූයේ ද ඇසළ පුන් පෝ දිනයේ දී ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රාවක පිරිස හා සැදැහැවත් ජනයා විසින් පවත්වන ලද පුද පූජා, ගරු සත්කාර හා සම්මාන ආදියෙහි ඊර්ෂ්‍යා පරවශව එවැනි වැඳුම් පිදුම් තමනුදු ලබනු රිසිව, සෘද්ධි බල හා ශීල ගුණයෙන් තමන් ද යුක්ත බවත්, තමන්ට ද ඕනෑම විටෙක සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමට හැකි යැයි පතළ කළ තීර්ථකයන්ගේ මානය බිඳ හෙළනු වස්, සැවැත් නුවර ගණ්ඩබ්භ නම් අඹ රුක මුල දී, යමා මහා පෙළහර පා වදාළේ ද ඇසළ පෝ දිනයේ දීම ය.

තම උපතින් සත්වන දවස මරණයට පත්වැ තව්තිසා දිව්‍යලෝකයෙහි උපන් තම මෑණියන් ප්‍රමුඛ දිව්‍ය සමූහයාට අභිධර්මය දේශනා කළේ ද, අද වැනි ඇසළ පොහෝ දිනකදී ය.

බොදු ජනතාවගේ පමණක් නොව අන්‍ය ආගමිකයන්ගේ ඉමහත් සම්මානයට බඳුන් වූ අසමසම බෞද්ධ පූජනීය වස්තුව වූ දළදා සමිඳුන් දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවූයේ ද ඇසළ පොහෝ දිනදීම ය.

අභයගිරි විහාරිකයන් සම්බන්ධ කරගෙන වසරක් පාසා ඇසළ පෝ දින දළදා සමිඳුන්ට පුද පූජා හා සත්කාර කරන ලෙස ධාතුසේන රජතුමා විසින් රට පුරා අණ බෙර යැවූ බව, චීන දේශාටකයකු වූ පාහියන් හිමියෝ පවසති. මෙම පුද සැලකිලි ක්‍රමිකව දියුණුවීමෙන් අනතුරුව මෙම උත්සව වලට පෙරහර එක් වී කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ජාතික උත්සවයක් බවට මෙය පරිවර්තනය විය.

ගජබා රජ සොලී දේශයට ගොස් එහි දී ලද විජයග්‍රහණය සිහි කිරීමත්, ඒ එන ගමනේ දී ගෙන ආ පත්තිනි සළඹ පිදීමත් මෙම ඇසළ පෙරහරේ පරමාර්ථය වී යැයි, නුවර යුගයේ ලියැවුණු ‘සංඝරාජ වත’ නම් පොතෙහි සඳහන් වෙයි.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු, සුභද්‍රා නම් වූ අභද්‍ර මහණකුගේ දුසිල්වත් කතා නිසා, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් රජගහ නුවර දී පළමු ධර්ම සංගායනාව කරවන ලද්දේ ද ඇසළ පොහෝ දිනයේදීම ය. බෞද්ධ පුනරුදය සසුනේ චිරස්ථිතිය සඳහා ඇප කැප වී අනූපමේය සේවයක් කළ දුටුගැමුණු නරපතීන් විසින් මහත් පරිශ්‍රමයකින් අහස් කුස නංවන ලද රුවන්වැලි මහා සෑ රජුන්ගේ මුල් ගල පිහිටවූයේ ද, අද වැනි පොහෝ දිනයකදී ය.

ඇසළ පෝ දින වටා සම්බන්ධව කාලයාගේ ඇවෑමෙන් මැකී ගිය තවත්, සිදුවීම් කොපමණ ඇති දැයි නිගමනය කිරීම ලෙහෙසි කරුණක් නොවනු ඇත.

මහ නුවර පෙරහැර මාසය ආරම්භ වන්නේද ‍මෙවන් මහගු පොහොය දිනයකිනි. ඉතින් මෙවන් පුල් පෝ දිනකදීවත් ඔබේ ජීවිතයේ එක් වැරැද්දක්වත් සකස්කර ගන්නේනම් එය ලොව්තුරු බුදු සමිදුන්ට ඔබ සිදුකරන ඉහලම පූජාව වනු නොඅනුමානය.

 

(04) අසිරිමත් නිකිණි පෝය වර්ණනාව …
(02) අසිරිමත් පොසොන් පෝය වර්ණනාව …

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.