අෂ්ඨ පල රුහ බෝධීන්වහන්සේලා

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ සැකසූ භූමි මණ්ඩපයක් මත වඩමවන ලද්දේ බුද්ධ වර්ෂ 236 උඳුවප් පුර පසළොස්වක දිනට පෙරැ දිනයේදී ය. “මෙසේ මහා බෝධිය රජතුමා අතින් ගෙන තැබූ මොහොතේ මේ මහා බෝධිය අසූරියනක් පමණ අහසට නැඟී සිට සවනක් රැස් විහිද වූයේ ය. ඉන් පසුව හිම ගැබින් සහ සිහිල් වළාවෙන් වැසී බෝධීන් වහන්සේ සත් දිනක් කිසිවකුටත් නෙපෙනී ගියේ ය. සත් දිනක් ඇවෑමෙන් සවනක් රැස් විහිදුවමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෘෂ්‍යමාන විය.”

“මිහිඳු මහ රහතන් වහන්සේ, සංඝමිත්තා මෙහෙණිය, දේවානම්පියත්සිස මහ නරේන්ද්‍රයාණන්, කතරගම වාසී ක්‍ෂීතයෝ ද, චන්දනග්‍රාම වාසී ක්‍ෂත්‍රීයෝද තිවංක නම් බ්‍රාහ්මණ තෙමේ ද ලක්වැසි අනෙකුත් ජන සමූහය ද මෙම අසිරිමත් අවස්ථාවේ එතැන රැස් වී සිටියහ.”

“මේ මොහොතේ දී ප්‍රාතිහාර්ය පාමින් නැගෙනහිර දිශාවේ ශාඛාවෙන් නැගුණා වූ ඵලය මහරහතන් වහන්සේ රැගෙන රෝපණය කිරීමට මහා රජතුමා වෙත දුන්සේක. සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍රවූ වූ රන් කටාරමක එය රෝපණය කළ විට සියල්ලන් බලා සිටියදීම එයින් අංකුර අටක් නැඟී තරුණ බෝ රුක් 8 ක් සතර රියන් පමණට ඵල ගත්ත.” මා මෙය සඳහන් කළේ මහාවංශයේ විස්තරයට අනුව ය. එසේනම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවෙන් ඵල අටක් ජනිත වූයේ මහා බෝධිය රෝපණය වී දින 7 කට පසුව ය. එම අෂ්ඨ ඵල රුහ බෝධීන් වහන්සේලා සුවිශේෂී වූ ස්ථානයන් අටක රෝපණය කළහ. මෙතෙක් එම අෂ්ඨ ඵල රුහ බෝධීන් යම් කිසි ස්ථානයක රැකුණේ නම් ඒවායේ ආයු කාලය මහා බෝධීන් වහන්සේගේ ආයු කාලයට වඩා අඩු වන්නේ දින 7 කින් පමණි.

මෙම ප්‍රාතිහාර්යන් පිළිබඳ විස්තරය පසෙකින් තැබූව ද මහා බෝධීන් වහන්සේගෙන් හටගත් ප්‍රථම අංකුර 8 අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ වශයෙන් හඳුනාගත හැකි වෙයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලාංකේය භූමිය වෙතට රැගෙන එන්නේ එවකට මෙහි ප්‍රධාන නැව් තොටක් වශයෙන් පැවැති දඹකොළ පටුනෙනි. එතැන් සිට අනුරාධපුරයේ මහමෙව්නා උයනට මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සැණකෙළි මධ්‍යයේ මහා උත්සවශ්‍රීයෙන් වඩමවාගෙන එන ලද්දේ රාජ්‍ය ගෞරව සහිතව ය.

මහ පෙරහරින්, අනුරපුර මහමෙව්නා උයන වෙත ශ්‍රී මහා බෝධිය වඩමවා ගෙන එන රාජ්‍ය උත්සවයට ලංකාවේ සතර දිග් භාගයෙන් සපැමිණියා වූ ජන සමූහයා සමඟ එක් එක් ප්‍රදේශය නියෝජනය කළ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූ බව වංශ කතා අනුව සනාථ කර ගත හැකි වෙයි.

පැණ නැගුණු අෂ්ඨ ඵල රුහ බෝධීන් වහන්සේලා කීපයක් ප්‍රදානය කළේ මහා උත්සවය සඳහා සහභාගී වූ එම රාජ්‍ය අමුත්තන් වෙතය. එහි අරමුණ වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් සම්බුදු දහම මේ ලක්බිම පුරා ව්‍යාප්ත කිරීම ය. එසේ අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථානයත් මෙසේ ය.

1. දඹකොළ පටුන, 2. තිවංක නම් බමුණු ගම, 3. කතරගම, 4. සඳුන්ගම, 5. ථූපාරාමය, 6. ඉසුරුමුනිය, 7. සෑගිරිය, 8. පළමුවැනි සෑ මළුව ද වශයෙනි.

දඹකොළ පටුන මීට වසර 2500 කට පෙර ශ්‍රී ලංකාවේ තිබූ ප්‍රධාන වරාය වශයෙන් හඳුනාගත හැක. දූත මෙහෙවර වෙනුවෙන් විදේශ ගත වූ සහ මෙහි සපැමිණි ප්‍රභූන් පිළිගත් එම සුවිශේෂී නැව්තොට මෙන්ම මහ බෝ සමිඳුන් වැඩමවූ සුවිශේෂී සන්සිද්ධියට දායක වූ ස්ථානය නිසා එතැන එක් අට මහා ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කරන්නට ඇත. අද එම බෝධීන් වහන්සේ දඹකොළ පටුනේ දී දැක ගැනීමට නොමැත. වසර 1997 දී එහි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් නැවත රෝපණය කර ඇත. අද එය පවතින්නේ නාවික හමුදාවේ අධීක්‍ෂණය යටතෙහි ය.

මහා වංශය හඳුන්වන තිවංක නම් බමුණුගම නමින් ග්‍රාමයක් අද අපට අසන්නට නොලැබේ. නමුත් ඇතැමකු පවසන්නේ තන්තිරිමලය යනු තිවංක නම් බමුණුගම බව ය. තන්තිරිමලය රජ මහා විහාරයේ ඇති බෝධිය අෂ්ටඵල රුහ බෝධියක් වශයෙන් සමහරු පිළිගනිති. දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථාන නාමයන්හි දී ද තන්තිරිමලය නම සඳහන් වෙයි. නිශ්චිත වශයෙන්ම පුරා විද්‍යාත්මක, ඉතිහාසගත සාධක මත මෙය තවමත් සනාථ කර ගෙන නොමැත.ඒ නිසා එය ජනප්‍රවාදයට පමණක් සීමා වී පවතී.

කතරගම දැනට ඇති පැරණි බෝධීන් වහන්සේ එදා රෝපණය කළ අෂ්ඨ ඵලරුහ බෝධියමදැයි සැකයක් ඇතත්, කතරගම මැණික් ගඟ සමීපයේ අෂ්ටඵල රුහ බෝධියක් රෝපණය කළ බවට සාක්‍ෂි තිබේ.

සඳුන්ගම ඇතැම් තැනක හැඳින්වෙන්නේ චන්දන ග්‍රාම වශයෙනි. රත්නපුරය දිස්ත්‍රික්කයේ ඇති සඳගිරිය නම් ස්ථානය මෙය යැයි සමහර වියතුන්ගේ මතයයි. මෙහි ඉතා පැරණි බෝධීන් වහන්සේ නමක් දුටු බව 1932 දී රත්නපුර දිසාපතිව සිටි සී.එච්. කොලින්ස් සඳහන් කර තිබේ. විසිවන සියවසේ මුල් භාගය දක්වා එම පැරැණි බෝධිය පැවතුණි. පුරාණයේ මෙහි සඳගනානුවර නමින් රාජ්‍ය පාලනයට අයත් වූ භූමියක් පැවැති බවට සාක්‍ෂය මතු වී තිබේ. අද එම භූමිය විශාල කුඹුරුයායයකි. ක්‍රි.පූර්ව දෙවන ශතවර්ෂයේ දී මෙය ඉතා දියුණු ප්‍රදේශයක අගනුවර වී තිබෙන්නට ඇති බවට එහි නටබුන් පරීක්‍ෂා කළ මහාචාර්ය සෙනරත් පණවිතානයන් පවසා ඇත. රුහුණේ සඳගිරි ප්‍රදේශය මෙම සඳුන්ගම යැයි තවත් මතයකි. එහෙත් එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ වඩාත් ඓතිහාසික සාධක පවතින ස්ථානය නම් ඉහත සඳහන් රත්නපුර දිස්ත්‍රික්කයේ සඳුන්ගම බවයි.

ථූපාරාම සමීපයේ තිබූ ඓතිහාසික බෝධි ඝරයක් මෑතකදි පාදගෙන ඇත. එය අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ වටා තිබූ බෝධිඝරය විය හැකි බවට වියත්න මත ඵල කරති. ථූපාරාමයේ රෝපණය කළ බෝ සමිඳුන් අද දක්නට නොලැබේ.

ඉසුරු මුණියද අනුරාධපුරයේ ඇති සුවිශේෂී පුදබිමකි. ඉසුරුමත්පුරුෂයන් 500 ක් මහරහතුන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූ තැන දේවානම්පියතිස්ස රජතුමා කළ විහාරය ඉසුරුමුණිය නම් වෙයි. ඉසුරුමුනි විහාරයේ අදද දැකිය හැකි පැරැණි බෝධීන් වහන්සේ අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේගෙන් එකක් බවත් එය දැනුදු එළෙසම පවතින බවත් කියැවෙයි.

සෑගිරිය නමින් හඳුන්වන්නේ මිහින්තලා පුද බිම ය. මිහින්තලා පුද බිමෙහි අෂ්ට ඵල රුහ බෝධියක් රෝපණය කරන ලද්දේ, අප මාතෘභූමියට බුදු දහම රැගෙන පැමිණි සදාණුස්මරණීය පූජා භූමිය එය නිසාම, ඊට ගෞරවයක් දැක්වීමට විය හැක. එහි රෝපිත අෂ්ට ඵල බෝධීන් වහන්සේ පිළිබඳව වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ සිතියම් සහිත පුරා විද්‍යාව පොතේ මෙසේ සඳහන් වෙයි. ‘දෙවානම්පියතිස්ස රජතුමා රෝපණය කරන ලද බෝධීන් වහන්සේ ‘අම්බස්ථලයේ’ දකුණු පාර්ශ්වයේ පොකුණ අසල පිහිටා තිබේ.’ එහි මුල් කඳේ වට අඩි 15 කි.’

අනෙක් අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේ රෝපණය කර ඇත්තේ පළමු වන සෑ මළුවෙහි ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථානයේම පරිවාර බෝධීන් වහන්සේ නමක් වශයෙන් එක් අෂ්ටඵල රුහ බෝධියක් රෝපණය කරන්නට ඇත.

මේ පිළිබඳව යම් අදහසක් ගැනීම සඳහා 1912 දී වලිසිංහ හරිස්චන්ද්‍රයන් විසින් ඵල කළ ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘ පොතේ සටහන ප්‍රයෝජනවත් වෙයි.

මහ මළුවේ ජය ශ්‍රී මහා බෝධියට උතුරින් අඩි 12 කට දුරින් තනි කඳෙන් යුත් බෝ රුකක් වෙයි. එහි මුලේ වට අඩි 2 යි අඟල් 4 කි. එය දක්‍ෂිණ ශාඛා මහා බෝධිය යැයි ඇතැමුන් කල්පනා කරන නමුත් එය වැරදි මතයකි.මහබෝධියට දකුණටත් බස්නාහිරටත් අතරේ අඩි 8 කට දුරින් පිහිටි ඵල රුහ බෝධිය වර්ෂ 2455 (මීට වසර 100 කට පමණ ප්‍රථම) කඳ දිරා යාමෙන් අතුරුදහන් විය. ශේෂව තිබෙන මුලින් පැළයක් ලියලා තිබේ.

අනුරාධපුරයේ බෞද්ධ උරුමය- ඉතිහාස පිළිබඳ මනා දැනුමක් තිබූ වලිසිංහ හරිස්චන්ද්‍රයන් මීට වසර 100 කට ප්‍රථමයෙන් දෑසින් දැක කළ එම ප්‍රකාශය වඩාත් විශ්වාස කටයුතු ය.

සම්බුදු දහම අප මාතෘභූමිය තුළ ව්‍යාප්ත කිරීමේ මහඟු ක්‍රියාදාමයකට අචේතනිකව උරදුන් මහා බෝධි වංශ කතාවේ මේ අශ්ටඵල රුහ බෝධීන් වහන්සේගේ පිළිබඳ නිහඬ පුරාවෘත්තයේ බොහෝ තැන් තවමත් නශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.

(බුදුසරණ පුවත්පත ඇසුරිනි)

අනන්ත බුදුගුණ බලය පෙන්වන සත්‍ය කථාවක්
චිරරාත්ත්‍රඤ (සසුන පිළිබද බොහෝ අත්දැකීම් ඇති) භික්ෂූන් අතර අගතනතුර ලැබූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන්වහන්සේ
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.