අරාබි කඩු හදන්නත් යකඩ ගෙන ගියේ ලංකාවෙන් ... ? - IFBC Organization | Dhamma

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවකි. යහළු මිත්‍රාදීන් විවිධ පැතිකඩ ඔස්සේ විසිර යද්දී ඇය සීගිරිය ආශ්‍රිතව තම පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කළාය. ඒ වෙනුවෙන් මහාචාර්ය සේනක බණ්ඩාරනායක ඇයට මඟ පෙන්වූවේය. තම ගුරුවරයා කියූ ගමන්මගෙ ගිය ඇය මුළු ලොවටම ලංකාව සතුව තිබූ ඉපැරැණි තාක්ෂණයේ අරුමය කියන්නට හැකි සාධක  සොයා ගත්තාය.ආචාර්ය රෝස් සෝලංග ආරච්චි නම් වූ ඇය ලංකාවේ යකඩවලට වටිනාකමක් එක් කළ පුරාවිද්‍යාඥවරිය වූවාය. ලංකාවේ කිරිඔය නිම්නය තුළ කළ ගවේෂණවලදී ඇයට හමුවූ සුවිශේෂීතම යකඩ නිෂ්පාදනාගාර ගණනකි. ඇය එදා සිට අද දක්වාම අවුරුදු විස්සක් පුරා ඉපැරැණි යකඩ තාක්ෂණය ලුහුබඳිමින් සිටින්නීය.ඇයගේ උත්සාහය වතුරේ ගියේ නැත. අදට ද ලොව හොඳම යකඩ තාක්ෂණය තිබූ රටවල් සමඟ කරටකර සිටින්නට අතීතයේදී ලංකාවේ යකඩ තාක්ෂණයට වූ හැකියාව ලොවට ඉදිරිපත් කරන්නේ සෝලංග ආරච්චි නම් වූ යකඩ ගැහැනිය නිසාය. ඒ සඳහා කිරිඔය නිම්නයේ අලකොළවැව, වෑවලගම දික්යාය කන්ද යන ස්ථාන ඇයගේගමනේ මූලිකම පර්යේෂණ කේන්ද්‍රවිය.

යකඩ හමුවන්නේ පොළොවෙන් යපස් ලෙසය. ස්වාභාවික සම්පතක් වූ යපස් යනු යකඩ ඔක්සයිඩය. ඒවා යපස් ලෙස හඳුන්වයි. යපස්වලින් යකඩ පෙරා ගැනීම හෙවත් යකඩ නිස්සාරණය කරයි.රටෙන් රටට පළාතෙන් පළාතට යපස් වර්ග වෙනස්ය. ඒ අනුව ලොව භාවිත කරන යපස් වර්ග තුනකි. ලෙමොනයිට්, මැග්නයිට්, හෙමොටයිට් ඒතුනය.කාර්මීකරණයට ප්‍රථම පුරාතන ලොව භාවිත වූයේ හෙමොටයිට්, ලිමොනයිට් වැනි වර්ගය. ඒ අතරට මැග්නටයිට් භාවිත වී ඇත්තේ ඉතා දුලබවය. එහෙත් සීගිරියේ කළ පර්යේෂණවලදී කිරිඔය නිම්නයේ යකඩ තාක්ෂණයට භාවිතකොට තිබුණේ මෙම දුලබ ගණයේ මැග්නටයිට් යපස් බව හෙළි විය.කිරිඔය නිම්නයට අයත් අලකොළ වැව දෙහිගහඇලකන්ද 1988 පටන් 1992 දක්වා ජනාවාස පුරාවිද්‍යාව යටතේ පර්යේෂණයන්ට බඳුන් විය. එහිදී ලැබූ තොරතුරු සහ වෑවලවැව දික්යායකන්ද තොරතුරු රෝස් සෝලංග ආරච්චි නම් වු ඇය තම දර්ශනපති නිබන්ධනයට හා ආචාර්ය උපාධි නිබන්ධනයටද යොදා ගන්න විය.

සමනල වැව යකඩ උදුන් ගැන පමණක් දැන සිටි මිනිසුන්ට කිරිඔය නිම්නයේ වූ යකඩ තාක්ෂණය ගෙන ගිය ඇය කිරිඔය නිම්නයේ යකඩ නිස්සාරණය මුලසිට ඉදිරිපත් කරන්නට වූවාය. නුවරගල කන්ද මුදුනෙන් නැඟී මින්නේරි වැව දක්වා ගලන කිරිඔය දෙවුරේ මෙම නිෂ්පාදනාගාර පිහිටා තිබිණි. පිහිටිගල හෙවත් මවු පාෂාණය දක්වා හාරනු ලබන පොළොවෙහි මැටියෙන් හැදූ උදුන මීටර් දෙකක පටන් උසකින් යුක්ත විය. චිමිනියක හැඩයට හැදූ මෙම උදුන් ඉහළට යන විට කේතුකාකාරව කුඩා විය. සැමවිටම මෙම උදුන් සුළං හමන දිශාවට මුහුණලා කඳු බෑවුම්වල නිර්මාණය කර තිබිණි.මෙම උදුන් සඳහා වාතය සපයා ගැනීමට නළ අටක් භාවිතකොට තිබිණි. එය බහුවායු නළ තාක්ෂණය Poly Tuyere Technique වේ. පොළොව අභ්‍යන්තරයෙන් හමුවෙන්නාවූ යපස් යකඩ ඔක්සයිඩ ලෙස පැවැතීම හේතුවෙන් පවතින අයනික සම්බන්ධය කඩා බිඳ දමා යකඩ පෙරා ගැනීමට සෙල්සියස් අංශක 1543ක පමණ උෂ්ණත්වයක් අවශ්‍යය. ප්‍රාථමික යුගය තුළ සිදුවූ මෙම යකඩ නිෂ්පාදනය සඳහා යමන්නෝ හෙවත් යකඩ කාර්මිකයෝ තම යකඩ උදුන් සඳහා හුළං කරාම ලබාගැනීමට නළ අටක් භාවිත කළහ. එම හුළං ධාරාව සේම ඉහළ උෂ්ණත්වයක් දෙන්නාවූ දැව වර්ග දහනයද මීට යොදා ගැනිණි.කිරිඔය නිම්නයේ වූ යකඩ උදුන් ආශ්‍රයෙන් කළ කැණීම්වලදී හමුවූ යපස් සාම්පල පරීක්ෂාවේදී පෙනී ගොස් තිබුණේ එම යකඩවල 98% ක්ම යපස් අඩංගු බවය.සාමාන්‍යයෙන් යපස් පිළිබඳ කරනු ලබන පරීක්ෂණවලදී විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ යපස්වල සල්ෆර්, පොස්පර්ස් වැනි මූල ද්‍රව්‍ය අඩංගු වේ නම් එම යපස්වලින් නිස්සාරණය කරගනු ලබන යකඩ ඉතා ඉක්මනින් කැඩෙන සුළුය. එහෙත් ලංකාවේ කිරිඔය නිම්නයේ අලකොළවැව, වෑවලවැව, දික්යායකන්දවැව යන ස්ථානවලින් හමුවූ යකඩවල එම මූල ද්‍රව්‍ය නොතිබුණු අතර එම බිම්වලදී හමුවූ යකඩ ඉතා පිරිසුදු බවටද සොයාගෙන තිබිණි. ඒවා වුට්ස් වානේවලට සමාන යකඩ බවද හෙළ විය.ක්‍රිස්තු වර්ෂ 2-4ත් අතර කාලයට අයත් ලෙස සැලකිය හැකි වූ මෙම යකඩ නිෂ්පාදනාගාර මහසෙන් රජුගේ රජ සමයට අයත් බව කාලනිර්ණයන්ගෙන් සොයාගෙන තිබිණි. මෙම පුරාවිද්‍යා කැණීම්වලදී සොයාගත් යපස් හා අනෙකුත් අවශේෂයන් විදේශයන්හි විද්‍යාගාර සඳහා යවා දින නිර්ණය කරන්නට යෙදිණ. දෙහිගහඇළ කන්ද යකඩ උදුන්හි කාලනිර්ණයන් 1990 දී ස්වීඩනයේදී ස්ටොක්හෝම්හි ස්වෙඩ් මර්ක්හි රසායනාගාරයකට යවා හඳුනාගත් අතර 2005දී වෑවල දික්යාය කන්ද කැණීම් භූමියට අයත් උදුන්වල අඟුරු අමෙරිකාවේ ෂලෝරිඩ් ප්‍රාන්ත බීටා රසායනාගාරයේදී කාල නීර්ණයන් සෙවීම කරන ලදී.

ලංකාවේ පුරාණ යකඩ තාක්ෂණයට අයත් කිරිඔය නිම්නයත් සමනල වැවත් ගත් විට සමනල වැව යකඩ උදුන්වල ක්‍රියාත්මක වූයේ සුළං පීඩනය ආශ්‍රයෙන් කළ යකඩ පෙරාගැනීමයි. මෙහි යකඩ උදුන් සඳහා වූ තාක්ෂණය සඳහා ආචාර්ය සෝලංග ආරච්චි යෙදූ වදනය සුළඟේ පීඩනය යෙදූ තාක්ෂණයයි. සමනල වැව යකඩ උදුන් සඳහා පැයට කිලෝමීටර් 70ක වේගයකින් පැමිණෙන සුළං පීඩනයක් යොදා ගෙන ඇත. ලංකාවේ යකඩ තාක්ෂණයත් විදේශීය යකඩ තාක්ෂණයත් සමකාලීනව බැලූවිට ජපානයේ තතාරා ටාන්සානියාවේ වයඹ දිග කලාපත් යකඩ නිෂ්පාදනය එවැනි සම තාක්ෂණික මට්ටමකින් පැවැතී ඇත.මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන් මෙහෙයවූ ජනාවාස පුරාවිද්‍යාව හරහා කළ පුරාවිද්‍යාත්මක ගවේෂණයන්හිදී මෙම කිරිඔය යකඩ නිම්නයේ හැංගුණ යකඩ තාක්ෂණය සොයාගනු ලැබිණි. අතීතයේ යකඩ පමණක් නොව යකඩවල හොඳම කොටස් ගෙන නිෂ්පාදනය කරන වානේ තාක්ෂණයද මෙරට ක්‍රියාත්මක විය. ඉහළම තත්ත්වයේ යකඩ කැබැලි ගෙන මැටි හා දහයියාවලින් සැකසූ කෝවවල දැමූ විශේෂිත දැව වර්ග යොදා උණුකරන්නට විය. මේ වානේ තාක්ෂණයටද උදාහරණ සීගිරියෙන් හමුවිය. සර් රොබට් හැඩ් ෆීල්ඩ් සීගිරියෙන් හමුවූ යකඩ හා වානේ නියැදි කීපයක් පරීක්ෂා කොට පැවැසුවේ Case Hardning යන වානේ ශක්තිමත් කිරීමේ කලාව සීගිරිය ප්‍රදේශය සිටි වානේ ශිල්පීන් දැන සිට ඇති බවත් එසේම ජල පිළියම මඟින් වානේ ශක්තිමත් කිරීමේ කලාව ලංකාවේ පැවතුණ බවත්ය.මලියසේන නම් වූ ශ්‍රී  ලාංකික පුරා ලෝහ විද්‍යාඥයා කියා තිබුණේ ඔහු දන්නා පරිදි මේ වානේ ශක්තිමත් කිරීමේ කලාවට දිය හැකි පැරැණිම දින වකවානු සාක්ෂි හමුවන්නේද ලංකාවෙන් බවය.

ලංකාවේ යකඩ විදෙස් රටවලට යැවූ බවට සාධක ද හමුවන බව පවසන ආචාර්ය සෝලංගආරච්චි ඊට උදාහරණයද දක්වාලයි. බේ‍රාන්සන් අල් හසන්ගේ වාර්තාවලට අනුව ඩැමස්කස් කඩු සඳහා අවශ්‍ය වූ වුට්ස් නම් වානේ ලංකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගෙන ඇත. එසේම අල් කන්ඩි නම් ලේඛකයා කියා ඇත්තේද යේමන්, ෆාර්ස්, කොරාසන් සහ මන්සුරා යන අරාබි කඩු නිෂ්පාදන සඳහා සෙරන්ඩිබ් හෙවත් ලංකාවෙන් වානේ ලබාගෙන ඇති බවය.

සඳලංකා සුදුසිංහ

ලොව පැරණිතම විධිමත් රෝහල මිහින්තලා කඳු පාමුල රෝහලයි. ( Mihinthale Ancient Hospital )
වසර 2000කට වඩා ඉපැරණි "හරබර" වැව ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.