අභය දානය නොදීමේ විපාකය …

එම ප්‍රදේශයේ ජීවත් වූ මහාම ධනවතා වූ ලිං ය. ඔහුට එහි විසූ කිසිවකුට නොතිබූ තරම් මහා ධනයක් තිබුණේ ය. එම ධනය සුඛෝපභෝගී ලෙස හිතුමතයේ ඔහු වියදම් කෙළේ ය. වූගේ පුත්‍රයාද පියාමෙන් ම විනෝදකාමියෙක් වූයේ ය.පුතාත් පියා වාගේම යැයි ගැමියෝ කීහ. ඔහු විදේශීය ආහාර වර්ග අනුභවයට දැක්වූයේ මහාකෑදරකමකි. වූ පවුල එක් දවසක් ප්‍රණීත ආහාරපාන සහිත සම්භාෂණයක් සූදානම් කිරීමට තීරණය කළහ. ඔවුන්ගේ පවුලේ සූපවේදියා ලවා වෙළෙඳපොළෙන් පණපිටින් කැස්බෑවකු මිලදී ගෙන්වා ගත්හ.

 

මෙම වර්ගයේ කැස්බෑවුන් මිලදී ගැනීම අසීරු වූයේ ඔවුන්ගේ මස් ඉතා පෝෂ්‍යදායී වූවා පමණක් නොව රසින් ද උසස් වූ බැවිනි. ගෙදරට ගෙන ආ කැස්බෑවා දුටු වූගේ සිත කිතිකැවී ගියේ ය. ගත පී‍්‍රතියෙන් පිනාගියේ ය.

තම ස්වාමියාගේ මේ විපර්යාසය දුටු සූපවේදියා කට වසාගෙන සිනාසෙමින් සත්ත්වයා ඝාතනය කිරීම පිණිස මස් කැත්ත හනගලට අල්ලා හොඳින් මුවහත් කරගත්තේ ය. කැස්බෑවාගේ හිස සැත් පිහියෙන් වෙන් කිරීමට සූදානම් වන විටම ඔහුට දකින්ට ලැබුණේ කැස්බෑවා හඬන බවය. වැගිරෙන කඳුළුවලින් මුරගා කියවුණේ “තමාට ජීවිත දානය දෙන්න” යැයි කියන අදෝනාවය. කන්නලව්වය.

සූපවේදියා වහාම පිහිය ඉවතට ගෙන ඝාතනය කිරීම නතරකොට තම ස්වාමියා වන වූ මහතා වෙත ගොස් මේ අද්භූත කැස්බෑවාගේ හැඬීම ගැන කියා සිටියේ ය. “තමා මරණයෙන් මුදා ජීවිත දානය දෙන්න යැයි හඬමින් අයැද සිටින මෙම අහිංසක කැස්බෑවා ඝාතනය කිරීමට මට නියම කිරීමට ඔබතුමාට නොහැකි ය.”

මෙම සූපවේදියාගේ ප්‍රකාශය ඇසෙත්ම වූ මහතා සූපවේදියාට බැණ වදිමින් බෙරිහන් දෙන්ට පටන් ගත්තේ ය.

“කිසිම වැදගැම්මකට නැති මෝඩයා නුඹට මොන දෙයක්වත් හරියට කරන්න බැරිද? නුඹට බැරිනම් මං ඒක නුඹ වෙනුවෙන් කරන්නම් මට පිහියක් දීපන්.”

මෙසේ කියමින් ගිගිරූ ඔහු ලාච්චුව ඇර එහි තිබුණ හොඳම පිහිය අතට ගත්තේ, ඉක්මන් ගමනින් කුස්සියට ගියේ ය. අසරණ කැස්බෑවා තවමත් හඬයි. කඳුළු වැගිරෙයි. ඒ දුටු නමුත් ඔහු කිසිතැකීමක් නොකොට ක්‍ෂණික විදුලි සැරයක් මෙන් වේගවත් පහරකින් කැස්බෑවාගේ හිස කඳෙන් වෙන් කෙළේ ය. ප්‍රහාරයේ වේගවත්කම නිසා සිරුරෙන් වෙන් වූ උඩට විසි වූ කැසුබු හිස වහලේ හරස් බාල්කය මත රැඳුනි. බාල්කය උඩ වැඩි නිසා කැස්බෑ හිස ගැනීමට නොහැකි වූ බව දුටු වූ සූපවේදියාට මෙසේ කීවේ ය.

“කමක් නෑ – ඔළුව ගැන කලබලවෙන්න එපා. ඉතුරු හරිය හොඳට උයල අපේ හවස කෑමට සූදානම් කරනවා.”

එදින සන්ධ්‍යා භාගයේ වූ පවුලේ සාමාජික පිරිස කැස්බෑ මත්ස්‍ය රසය භුක්ති විඳීමට මහත් අභිරුචියෙන් කෑම මේසය වටා හිඳගත්හ. එහෙත් අභාග්‍යයකි. ඔවුන්ට කෑමට ලැබුණේ මස් කැබලි කීපයක් පමණකි. ඒ අතර ගෘහ මූලික වූ ගේ පුත්‍රයා තම හිස කැරකෙන බව කීවේ වේදනාවෙනි. ඔහු, ඒ සමගම උඩ බැලුවේ ය. මහ හඬින් කෑ ගසන්ට පටන්ගත්තේ ය. ඔහු වහලේ බාල්කය දෙසට අත දිගු කරමින් කෑ ගසන්ටත් අත් පා වේගයෙන් සොලවන්ටත් පටන් ගත්තේ උමතු වූවකු මෙන් ය.

“බලන්න – අර බලන්න – යෝධ කැස්බෑවෙක් අර බාල්කය උඩ ඉන්නව –

ඒ දෙස කවුරුත් බැලූහ. කිසිවකුට අමුතු කිසිවක් දැක ගත නොහැකි විය. වූ මහතා කීවේ “මට කිසිම දෙයක් පේන්නෙ නෑ” යනුවෙනි. පුතා මහ හඬින් කෑ ගසයි.

“යන්න – යන්න – ආහ්! ඔහු මාව හපා කනවා, තාත්තේ මට උදව් කරන්න. මාව බේරගන්න.”

“ කවුද ඔබව හපා කන්නෙ – මෙතන එහෙම හපාකන කවුරුවත් නෑ.”

“කැස්බෑවො – කැස්බෑවො – මා වටේම කැස්බෑවො – ඔවුන් මා වටකරගෙන මගේ කකුල් හපා කනවා. මාව බේරගන්න.”

වූ පුත්‍රයා කෑ ගසමින් බිම පෙරලී අත්පා ඒමේ අතට විසුරුවමින් ගේ දෙවනත් වන තරම් හඬ නැගුව නමුත් අනික් අයට කිසිම වෙනසක් දැක ගැනීමට නොතිබුණි.

මෙයින් දින තුනකට පසුව සිහිසුන්ව සිටි වූ තරුණයා මිය ගියේ ය. ඔහු ද ඔහුගේ කෑදරකමේ හා හිංසාකාරී බවේ හේතුවෙන් බරපතළ පාපයක කොටස්කරුවෙක් වූයේ ය. අප කරන ක්‍රියාවල ප්‍රතික්‍රියාව අප භාර ගත යුතු ය. ඒවා වෙනත් කිසිවකු පිට පැටවිය නොහැකි ය.

ඔබට කිසිවකු වේදනාවක්, දුකක් හෝ කරදරයක් කරනවාට ඔබ කැමති නැත. එසේම අන්කිසිවෙක් තමාට වේදනාවක් දුකක් හෝ කරදරයක් කරන වාට කැමති නැත. මහා ධනකුවේර වූ ලිං ගේ පුතා ඔහුට අහිමි විය. මෙය ඔහුගේ ප්‍රාණඝාතන හා පාපකාරී ක්‍රියාවල ප්‍රතිඵලයක් බව සනාථ විය.

මහලු කුං මැතිණිය ...
ක්‍ෂය රෝගය ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.