අභයගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ ( The abayagiri Stupa )

අභයගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටියේ අනුරාධපුර ශුද්ධ භූමියේය. ථූපාරාමයට හෝ ඇතුළු නුවරට උතුරින් පිහිටා ඇති හෙයින් මෙය උත්තර මහා චෛත්‍යය වශයෙන් ද හඳුන්වනු ලබයි.

ඉතිහාසය පිරික්සීමේදී, ප්‍රථම නිකාය භේදයට තුඩු දුන්, සිද්ධි දාමය සමඟ අභයගිරි විහාරයේ නාමය ඈඳී තිබෙයි. එහෙත් එම විලෝමය, අභයගිරි විහාර සංකීර්ණයේ හෝ අද අප කතා කරන අභයගිරි මහා ස්තූපයේ ගරු ගාම්භීරත්වයට කිසිසේත් අවතක්සේරුවක් නොවනු ඇත.

ලාංකේය රාජ්‍ය වංශයේ තවත් එක් සුවිශේෂී නාමයක් රැන්දූ ‘වළගම්බා’ නොහොත් වට්ට ගාමිණී අභය රජතුමා (ක්‍රි.පූ. 89 – 77 ) මෙම ස්තූපය කරවා තිබේ. වට්ටගාමිණී අභය කුමරු සද්ධාතිස්ස රජතුමාගේ බාල පුත්‍රයා ය. වළගම්බා රජතුමා ප්‍රථම වරට අභිෂේක ලබන්නේ ක්‍රි.පූ. 103 වසරේදීය. එහෙත් සය මසක ඇවෑමෙන් සොලී ආක්‍රමණයන් සත් දෙනකුගේ බලය හමුවේ සිහසුන බිම තබා පැරද පලා යන්නට ඔහුට සිදුවෙයි. පැරද පලායන රජතුමා දැක එක් නිගන්ඨාරාමයක විසූ ගිරි නම් ජෛනාගමිකයා මහකළු සිංහලයා පලායන බව කෑගසමින් පවසා රජතුමා අවමානයට ලක් කරයි.

ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි සැඟවෙමින් රුහුණේ සිට සේනාවන් රැස්කර සංවිධානය වන වළගම්බා නැවත පෙරළා පැමිණ එවකට අනුරපුරයේ පාලකයාව සිටි අවසන් ද්‍රවිඩ ආක්‍රමණිකයා පරදා අප මාතෘභූමිය නැවත එක් සේසත් කරයි.

රාජාභිෂේකයෙන් පසුව පෙර සඳහන් කළ ජෛනාගමික මධ්‍යස්ථානය කඩා බිඳ දමමින්, එතන මහා විහාර සංකීර්ණයක් ඉදි කරන රජතුමා මෙම විහාරයට තම නමද ඔහු අපහාසයට පත් කළ නිඝන්ඨයාගේ නමද එක්කරමින්, අභයගිරි විහාරය ලෙස නම් කරන්නට ඇතැයිද මතයක් වේ. මෙම නම පිළිබඳ වෙනත් මතයක් ඉදිරිපත් කරන මහාචාර්ය ටී.ඩී. කුලතුංග පවසන්නේ පුරාණයේ උස් බිම් හා පර්වත ආශි‍්‍රතව ඉදිකළ විහාරගිරි යන්නෙන් අවසන්කර ඇති බවකි. (උදාහරණ වශයෙන් මේඝගිරි චේතියගිරි වෙස්සගිරි ආදිය වේ.) එසේ වට්ටගාමිණී අභය රජතුමා උස් වූ භූමියක සෑදූ විහාරය ‘අභයගිරි’ ලෙස නම් කරන්නට ඇති බව ඔහුගේ මතය වෙයි. මහා වංශයට අනුව අනුමාන කළ හැක්කේ මෙම අභයගිරි විහාරය ගොඩ නංවන ලද්දේ ක්‍රි.වර්ෂයට පෙර 29 වැනි වර්ෂයේ බව ය.

වසර 13 ක් අපමණ දුෂ්කර ක්‍රියා මැද දිවි ගෙවූ රජතුමාට මහත්සේ ඇප උපකාර කළ කුපික්කල මහාතිස්ස නම් තෙරුන් වහන්සේට මෙම අභයගිරි විහාරය රජතුමා විසින් පූජා කරනු ලබන්නේ කෘතගුණ සැලකීමේ මහා ගුණය පසක් කරවමිනි. මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ ‘ලක්දිව බුදුසමයේ ඉතිහාසය’ ග්‍රන්ථයේ සඳහන් වන පරිදි, මහා සංඝයා විෂයෙහි පොදුවේ පූජා නොකොට තනි භික්‍ෂුවකට පමණක් විහාරයක් පූජා කරන ප්‍රථම අවස්ථාව මෙය ය. කෙසේ හෝ මහා තිස්ස තෙරුන්ගේ කුල සංඝට්ඨව (ගිහි කුලය හා ගැලී) වෙසෙතැයි චෝදනාකොට මහා විහාර භික්‍ෂූන් විසින් තිස්ස තෙරුන්ව නෙරපා හරිනු ලබයි.

මෙම ක්‍රියාවට විරුද්ධත්වය ප්‍රකාශ කරන මහාතිස්ස තෙරුන්ගේ ශිෂ්‍ය බහලමස්සු නොහොත් මහදැළිය, තිස්ස තෙරණුවෝ 500 ක් පමණ භික්‍ෂූන් වහන්සේ සමඟ අභයගිරි විහාරයට පැමිණෙති. මෙම ක්‍රියාදාමය මහා විහාරය හා අභයගිරි විහාරය වශයෙන් නිකාය දෙකක් ඇතිවීමේ සන්සිද්ධියට පාදක වන ප්‍රථම අනතුරු හැඟවීමේ රතු එළිය බව ලාංකීය නිකාය භේදය පිළිබඳ විමසීමේ දී හැඟී යයි.

එහෙත් පසු කාලීනව අභයගිරි විහාරය පැරැණි ඉන්දියාවේ පැවැති නාලන්දා, ජගද්දලා, වික්‍රමශීලා වැනි බෞද්ධ විශ්වවිද්‍යාල හා සමකළ හැකි තත්ත්වයක පැවැති බවත් මෙහි ශාඛා ආරාම විදේශ රටවල පවා ප්‍රචලිතව තිබූ බවත් කියැවේ. විශේෂයෙන් 5 වැනි සියවසෙහි ලංකාවට පැමිණි පාහියන් භික්‍ෂූන් වහන්සේ ද මෙහි අධ්‍යාපනය හදාරා ඇත. උන්වහන්සේ එන විට මෙම විහාරයේ 5000 ක් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටි බව උන්වහන්සේගේ සටහන් වලින් සනාථ වෙයි. අද වන විට අපට දකින්නට ලැබෙන්නේ මේ මහා බෞද්ධ අධ්‍යාපන නිකේතනයේ ශේෂයන් පමණි.

නටබුන්ව පැවතියද මහා දැවැන්ත නිර්මාණයක් වන අභයගිරි ස්තූපය, පැරැණි ශේෂ පත්‍රයක ස්වර්ණමය ලකුණක් අදට ද ඉතිරිකර තබා තිබේ. බෙහෝ වංශකතාවන්හි මෙහි නිදන් කර ඇති සුවිශේෂී නිදන් වස්තූන් පිළිබඳ සටහන් නොමැත. එහෙත් සද්ධර්මරත්නාකරයට අනුව මෙහි සර්වඥ ධාතු තැන්පත් කළ වෘෂභයකුගේ හැඩැති ධාතු කරඬුවක් නිදන් කර ඇති බව කියවෙයි. වළගම්බා රජතුමා කරවූ ස්තූපයට ගජබාහු රජතුමා (ක්‍රි.ව. 112 – 134 ) විසින් විශාල කරන ලද අතර මෙය අවසන් වතාවට පිළිසකර කළේ මහ පැරකුම්බා රජතුමා ය. (ක්‍රි.ව. 1153 – 1180 )

පසුව වල්බිහි වූ චෛත්‍යයේ ගරා වැටී තිබූ කොත් කැරැල්ල කොන්ක්‍රීට් දමා තහවරු කරන ලද්දේ එච්.සී.පී. බෙල් විසින් මීට වසර 100 කට පමණ පෙරය. ලංකාවේ විශාලම ස්තූපය වූ ජේතවනාරාමයට පමණක් දෙවැනි වූ දැනට ශේෂව ඇති චෛත්‍යයේ උස මීටර් 75 ක් පමණය. (අඩි 250 ක්) ස්තූපය හා මළුවට යට වී ඇති භූමිභාගය අක්කර 14 ක් පමණ බවත් කියැවෙයි. අභයගිරි ස්තූපය වර්තමානයෙහි ප්‍රතිසංස්කරණය කැරේ. පාරාවෝ වැනි මහා දැවැන්තයින්ගේ අභිමානයට අභියෝග කළ අපේ මහා වික්‍රමාන්විත රජ දරුවන්ගේ ප්‍රතාපවත් බව ලොවට හඬ ගා කියන මේ මහා පෞරාණික ස්මාරක කුඩා දිවයිනක වූ දැවැන්ත ප්‍රතිරූපය ඔසවා තබන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයක උතුම් සලකුණු ද සමඟ වීම විශේෂයකි.

උපුටා ගැනීම – http://www.lakehouse.lk/budusarana/2011/12/24/tmp.asp?ID=temp01

ථූපාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ ( The thuparama Stupa)
ජේතවනාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ ( The Jethawanarama Stupa )
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.