Skip to main content

පෙන්නීමට නො වැ සැබවට ම විය යුතු යනු අතිගරු ආචාර්යොත්තම පැළෑණේ සිරි වජිරඤාණ මහානායක හිමියන් වහන්සේ ගේ ප්‍රධාන ආදර්ශ පාඨයකි. උන් වහන්සේ ගේ කථා ක්‍රියා ඉරියව් ගති පැවැතුම් සියල්ලක් ම යට කී ආදර්ශ පඨය අනුවැ ම සිදු වූ බව බොහෝ කාලයක් ළහින් ආශ්‍රය කළ අප හා තරම් හොදින් දන්නෝ වෙන නැතැයි කිව යුතු ය.

මේ ලෝකයෙහි සමහරුන් ඈත සිට සුළු වශයෙන් ආග්‍රය කරන විට බෝසතුන් මෙන් පෙනෙතත් ළං වැ ආශ්‍රය කරන විට පුහු සතුන් ම බව හොදින් වැටැහෙයි. සමහරු දුර ආශ්‍රයෙන් බලන විට නිකමුන් පුහුවන් මෙන් පෙනෙතත් ළඟ ආශ්‍රයට ආ විට උගත් සිල්වත් ගුණවත් නියම බෝසතුන් බව මැ පැහැදිළි වෙයි. පෙන්නීමට නො වැ සැබවට ම විය යුතු යන ආදර්ශ පාඨය අනුවැ ජිවිතය ගත කළ ආචාර්යෝත්තම මහානායක මාහාමියන් වහන්සේ දෙ වැනි කොටසට ඇතුළත් උත්තම යෙකි. උන් වහන්සේ ආශ්‍රය කළ කවර කෙනෙකුට වුව ද දිනෙන් දින ම ප්‍රිය වූ හ.

සුළු කාලයක් ඇතුළත මෙ තරම් උසස් ධර්ම ශාස්ත්‍රඥානයක් ඇති තැරැගත හැකි වුයේ උන් වහන්සේ කුඩා කල පටන් ම, සක්කච්චකාරිතා කරන වැඩක් ඇත් නම් එය සකසා සපුරා කිරීම ය, සතතයෙන් කිරීම ය යන ආදි මනා පිළිවෙළින් ම කළ හෙයිනි.

‘කරතොත් කරපන්            හරියට
බැරි නම් පලයන්               අහකට
අත පත ගාමින් වට                 පිට
බලමින් ළ තවත් නෙ          කුමට’

මෙය උන් වහන්සේ බොහෝ කලකට පෙර ළමයිට අවවාද වශයෙන් ලියන ලද කව් පෙළෙක එන කවියකි.

කාල සටහනක් අනුවැ සියලු කටයුතු කලත් වෙලාවටත් හොදටත් සම්පූර්ණ වත් කළ හැකි බව බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ම ඉගැන් වූ සේක. අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ද සියලු කටයුතු කලට වෙලාවට කිරීම සඳහා ලොකු සැලැකිල්ලක් දැක්වූ හ. උන් වහන්සේ රෝගාතුර වන්න පෙර ඉතා දුර බැහැර ධර්මදේශනා සඳහා ද වැඩම කළ හ. ආරාමයෙන් පිටත් වී ‍ගොස් ධර්මදේශනා අට දහය පවත්වා ආපසු වඩින අවස්ථා ද විය.

උන් වහන්සේ දුර බැහැර ගමනක් යන්නට පෙර කාල සටහනක් පිළියෙළ කරති. අසුවල් දින උදේ අසුවල් තැන ය, දහවල අසුවල් තැන ය, සවස අසුවල් තැන ය, රෑ අසුවල් නැත ය ආදි වශයෙන් සියලු තැන් සටහන් කොට අසුවල් දින ආපසු එන බව ද ලියා එයින් පිටපත් දෙකක් පිළියෙළ කරති. ඉන් එකක් පන්සලේ තබා එකක් රැගෙන වඩිති. එ සේ ම යන ගමනෙහි දී හමු විය යුතු අය හා ඒ අය සමඟ සාකච්ජා කළ යුතු කරුණු ද වෙන ම සටහන් කැරැගනිති. මෙයින් එක ගමනක දී කටයුතු රාශියක් හොදටත් සම්පූර්ණ වත් කැරැගෙන එන්නට පිළිවන්කම ලැබිණ. මෙය අප කා විසිනුත් අනුගමනය කළ යුතු කාලෝචිත ආදර්ශයකි.

අතිගරු ආචාර්යෝත්තමයන් වහන්සේ ගේ ධර්මදේශනා අතිශයින් ජනප්‍රිය වූ බව ගිහි පැවිදි වැඩි දෙනා දන්නා කාරණයෙකි. එ සේ ජනප්‍රිය වීමට කරුණු දෙකක් හේතු වී ය යි. කිව යුතු ය. ඉන් එකක් නම් ලොකු කුඩා කාටත් තේරෙන ළිහිල් බසින් ස්ථානෝචිත වැ දේශනා කිරීම යි. අනෙක, ධර්මයෙහි සඳහන් ගැඹුරු කාරණ වුව ද ඉතා හොඳින් කල්පනා කොට කාලයට සරිලන පරිදි උපමා උපමෙය ගළපා , ස්ඵූට කිරීමට නිදර්ශන ද දක්වමින් දේශනා කිරීමයි. උන් වහන්සේ වර්තමාන ශාසනයෙහි තුබුණු ධර්ම භාණ්ඩාගාරය ලෙස බොහෝ දෙනා පිළිගත් හ. එ තරම් ධර්‍මධර වුව ද ධර්ම දේශනාවක් කරන්නට පෙර මාතෘකාවට වුවමනා කාරණා පෙළ අටුවා ටීකා බලා උපුටා හොදට හිතා මතා ගළපාගැනීම උන් වහන්සේ ගේ සිරිත විය. ඒ නිසා උන් වහන්සේ ගේ ධර්‍ම දේශනා අසන්නවුනට සැමදා ම අළුත් වැ වැටැහිණි.

නොයෙක් කරුණුවල දී උන් වහන්සේට නින්දා අපහාස ද ලැබිණ. ඒ සියල්ලක් සතුටින් ඉවැසුවා විනා කිසි කෙනෙකු ගෙන් පළි ගන්නට නො සිතු හ. උන් වහන්සේට බොහෝ කොට දොෂාරෝපණ කළ අය හෝ පැමිණි විට ඒ කිසිවක් නොදන්නකු මෙන් සතුටින් පිළිගෙන හොඳින් කතා කොට සංග්‍රහ කිරීම ද සිරිත විය.

උන් වහන්සේට බොහෝ විට ම බැනුම් අසන්නට සිදු වූයේ තමන් ගේ අඩුපාඩු නිසා ම නො වැ යම් යම් ශාසනික ප්‍රශ්නවල දී නො බා අදහස් ප්‍රකාශ කිරිම නිසා ය. එ බඳු අවස්ථාවල දී ලෝකයේ බොහෝ දෙනා බැනුම් අසන්නේ හොර මැරකම් කරලා ය, මා බැනුම් අසන්නේ බණ පදයක් කියලා ය යි කියමින් සතුටු වු හ.

චාම් ජීවිතයත් සැහැල්ලු පැවැත්මත් ඉතා අගය කොට සැලැකූ අති ගරු ආචාර්යෝත්තමයන් වහන්සේ නොයෙක් දේ ප්‍රාර්ථනා නො කොට ලද දෙයින් සතුටු වැ වාසය කළ හ. අප දන්නා කාලයක මදුරු දැලක් පාවිච්චි නො කළ උන් වහන්සේ මදුරු දැල් භික්‍ෂු ජීවිතයට නුසුදුසු ය යි කිසි විටෙකත් ප්‍රකාශ නො කළ හ.

කුඩා කල පටන් පුරුදු කරන ලද පුදුම ධෛර්යයක් උන් වහන්සේ තුළ තුබු‍ණේ ය. කවර තරමක හෝ ආපදාවක් පැමිණියත් වැඩි කලබලයක් නැති වැ කනස්සලු වීමක් නැති වැ ධෛර්යයෙන් කටයුතු කිරීමේ ශක්තිය නොඅඩු වැ ම තුබුණේ ය. අසනීපයක් නැතොත් නිදාගන්නා වේලාවන්හි විනා අතරතුරේ ඇඳේ වැද හෙවීමක් නො වී ය. ඉතා වයෝවෘද්ධ කාලයෙහි පවා රෑ එක දෙක වන තුරු කටයුතුවල යෙදුණ හ, කොතෙක් රෑ බෝ වන තුරු කටයුතුවල යෙදි සැතපුණත් හිමිදිරි පාන්දර නැඟිටීම සිරිත විය.

උන් වහන්සේ අවසාන කාලයෙහි ඉතා දුර්වල වැ සිටිය හ. එහෙත් යම් කිසිවකු ධර්‍ම සාකච්ඡාවකට පැමිණියොත් ඒ සියලු අමාරුකම් අමතක කොට කතා කිරීමට ක්‍රියා කිරීමට තරම් ධෛර්යයක් උන් වහන්සේ තුළ වී ය.

අවසාන වරට උන් වහන්සේ ඔත්පල වූයේ රාත්‍රී ඇඳ ළඟ වැටීමෙනි. එ දින ද රෑ දොළහ පසු වන තුරු කටයුතු වල යෙදී සිටිය හ. උන් වහන්සේ ගේ විශේෂ උපස්ථායකයා ද පසෙකින් වාඩි වී සිටියේ ය. රෑ දොළහත් පසු වූ විට උපස්ථායකයා දෙසට හැරි කුමට ද මා නිසා මෙ පමණ වේලා නිඳි මරන්නෙ? නිඳාගන්න, මා නිඳිමත වුනාම පුටුවෙන් නැඟිට සැතපෙන්නම් යි කියා තිබේ. එහෙත් ඔහු එ සේ ම සිටියේ ය. අන්‍යයන් කෙරෙහි කරුණාවෙන් පිරුණු උන් වහන්සේ ඔහුට නිඳාගන්න ය යි නැවත්ත කියා තිබේ. ඒ නියමය පරිදි පේන තෙක් මානේ ඔහු මඳක් ඇල වී ය. ඔහුට කතා නො කොට තනියම ආසනයෙන් නැඟිටීමේ දී ඉතා දුර්වල වැ සිටි උන් වහන්සේ අවසාන වරට ඔත්පල වූ හ.

අතිගරු මහානායක මාහිමියන් වහනසේ තුළ තදින් බලපැවැත්වු අධිෂ්ඨානයක් බෞද්ධ දරුවන් ගේ ද ප්‍රයෝජනය සඳහා වරක් බෞද්ධ ළමයා සඟරාවේ පළ කැරවූයේ මෙ සේ ය.

මා ගේ නොයෙක් වරද හා අඩුකම් තිබෙද්දී
කා ගේ කොතෙක් වදර වත් නො සොයම් නො දක්වම්
දොස්නෙන් මිදෙන්නට ගුණෙන් නුවණින් වැඩෙන්ටත්
වෑයම් කරම් දිනපතා සිහියේ යෙදී මම්

 ඉරිදා ලංකාදීප 1957.09.22

ප්‍රඥාප්‍රභා 1

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.