Skip to main content

අඳුන්ගිරි පර්වතය පයින් මඩ කර වී වැපිරූ පත්තිනි දේවිය

සිංහල බෞද්ධ සමාජය තුළ මුල් බැස ගත් එක්‌ දෙයක්‌ තමා දේව විශ්වාසය. දෙවියන්ට පුද පූජා කරලා දෙවියන්ගෙන් පිහිටක්‌ ලබා ගන්නා අය බොහොමයි. ලංකාවට බුද්ධාගම එන්නත් කලින් මේ දේව විශ්වාසය තිබුණා. බුදුහාමුදුරුවන්ගෙනුත් ඒ කාලෙ සමහරුන් අහල තිබුණා දෙවියන් පිළිබඳව එක එක ප්‍රශ්න. අද වුණත් පිරිත් දේශනා කරන කොට දේවාරාධනාවක්‌ කෙරෙනවා. ඒ වගේම දෙවියන්ට පින්දීමත් අපේ අනිවාර්ය අංගයක්‌. දෙවියන් පිළිබඳ නොයෙක්‌ ජනප්‍රවාද ග්‍රීසිය, රෝමය විතරක්‌ නොවෙයි ජර්මනිය, රුසියාව, වැනි රටවලත් හම්බු වෙනවා. සෘග්වේදයෙත් හුඟාක්‌ දේවකතා තියෙනවා.

අපේ පැරැණිම ජනතාව සොබා දහමට, හිරුට සඳුට, මිහිකතට දේවත්වයෙන් සලකලා තියෙනවා. ඉන්දියාවෙ දෙවියන්ට යාග පවත්වලත් තියෙනවා. වස්‌තුව, රත්තරන් මැණික්‌ එහෙමත් පූජා කරල තියෙනවා. බුදුහාමුදුරුවො මේ යාග හෝම නිෂ්ඵල දෙයක්‌ බව ප්‍රසිද්ධියේම පෙන්වා දීල තිබුණත් ඒවයින් ජනතාව ඉවත් වුණේම නැහැ. අදටත් බෞද්ධ දෙවියන් ලෙස අපි පිළිගන්නා දෙවිවරුන් ඉන්නවා. මහාසුමන දෙවියන් බුදුහාමුදුරුවො ලංකාවට වැඩම කළ වෙලාවෙ බණ අහල උන්වහන්සේගෙන් කේශධාතු මිටක්‌ ඉල්ලගෙන මහියංගණ සෑයේ තැන්පත් කරපු විස්‌තරය මහාවංශයේ එනවා. ලංකාවට ගොඩ බැහැපු විජය කුමාරයාට උපුල්වන් දෙවියන් ආරක්‍ෂාව දුන්න බවත් කියනවා. කතරගම දෙවියන් ගැනත් නොයෙක්‌ ප්‍රවාද තියෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ඨඵල බෝධීන්ගෙන් එකක්‌ කතරගම රෝපණය කරලා තියනවා. දුටුගැමුණු රජතුමා එළාර සමග සටන් වැදිලා ජයග්‍රහණය ලබාගෙන කතරගමට බාරයක්‌ ඔප්පු කිරීමක්‌ විදිහට කතරගම දේවාලය හදලා දුන්න බවත් කියෑවෙනවා.


සිංහල ජනතාව උපුල්වන්, සමන් හා කතරගම යන දෙවිවරුන්ගේ පිහිට පැතීම ඉතාම පැරැණි සිරිතක්‌. මේ දෙවිවරුන් දේශීය දෙවිවරුන් අතර ප්‍රධානතම දෙවිවරුන් බව ඉතා පැහැදිලියි. බුදුහාමුදුරුවො කැලණියට වැඩම කරලා සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනල කන්ද මුදුනටත් වැඩිය. ශ්‍රීපාදය පිහිටුවල තියෙන්නෙත් ඒ ගමනෙදිම බව කියනවනෙ. මේවට මැදි වුණු මොනතරම් කතාන්දර අපට තියෙනවද? දේව විශ්වාසයට හිනා වුණ වීදාගම පරපුරේ හාමුදුරුවරුත් හිටිය. ඒ වුණාට අපේ පොදු ජනතාව නම් හැම කාලෙකම දෙවියන් ගැන තදට විශ්වාස කළා. පුද පූජා කළා. කොහොමටත් ඒක හරිම අහිංසක විශ්වාසයක්‌. බුදුහාමුදුරුවන්ට වැඳල කියලා ඉවර වෙලා දෙවියන්ට පින් දෙන සිංහල බෞද්ධයා දෙවියන්ට බාරහාර එහෙමත් ඔප්පු කරනවනෙ. බුදු පිහිට වගේම දෙවි පිහිටත් තමන්ට ලැබෙන බව විශ්වාස කිරීමේ වරදක්‌ තියෙනවා කියලා කියන්ටත් බැහැනෙ. කොහොමටත් සිංහල බෞද්ධයට නිවන් යන්නට හදිස්‌සියකුත් නැහැ. සංසාරෙ කොට කර ගන්න පින්දහම් කළත් ඒ අය හුඟ දෙනෙක්‌ හිතන්නේ කරදරයක්‌ දුකක්‌ නැතුව ජීවත් වෙන්න දෙවියන්ගෙන් පිහිටාධාර ලැබෙනව කියලයි.

සිංහල බෞද්ධයන් ඉහළම ගෞරවයකින් භක්‌තියකින් සලකන දෙවි කෙනෙක්‌ තමා පත්තිනි දෙවියන්. හින්දුන්ගේ විශ්වාසය නම් පත්තිනි කියන්නේ ශිව දෙවියන්ගේ භාර්යාව වන පාර්වතියගෙ අවතාරයක්‌. සිංහල බෞද්ධ මතය ඊට වෙනස්‌. සිංහලයන් ඇයව හඳුන්වන්නේ පත්තිනි මෑණියන් කියලා. ඇය බොහොම තේජාන්විත කෙනෙක්‌. ඇගේ සීලයේ ආනුභාවය කොච්චරද කියනව නං දවසක්‌ ඇය අඳුන්ගිරි කියන පර්වතය මුදුනෙ තපස්‌ රකින කොට සක්‌දෙවියන්ගේ පඬුපුල් අසුනත් උණුවෙලා. ඔන්න ඒ පාර සක්‌ දෙවිඳුන්ට හිතෙනවා ඇගේ සීලය පරික්‍ෂා කරලා බලන්න. එහෙම හිතපු සක්‌ දෙවියො මහලු බමුණකුගෙ වේසයක්‌ අරගෙන ඇය තපස්‌ රකින පර්වත මුදුනට ගිහිල්ලා. එහෙම ගිහිල්ලා ආහාරය සඳහා යමක්‌ ඉල්ලනවා. ඒ වෙලාවෙ පත්තිනි මෑණියො පර්වතය මුදුන පයින් මඩ කරලා. සුවඳැල් වී ඉහල ගොයම් පීදෙනකං ඉඳලා එයින්ම බත් හදලා දුන්නලූ. මේ සේරම සත් පැයක්‌ ඇතුළත කළා කියලා තමයි ජනප්‍රවාදෙ එන්නේ.

පත්තිනි දේවියගෙ උපත ගැනත් හරියට කතා තියෙනවා. ඇය අඹ ගෙඩියකින් උපන් බවත් කියනවා. ඒ වගේම ගින්නෙන්, දෙමට මලෙන්, විදුලියෙන්, පිනි බින්දුවෙන් නුග පතින්, සළු පොටෙන් ජලයෙන් ආදී විවිධ දේවලින් උපන් බව කියනවා. සත්පත්තිනි, දොළොස්‌ පත්තිනි කියන්නෙත් ඒ උත්පත්ති කතා හින්ද. මල් පත්තිනි. තෙද පත්තිනි, ඔරුමාල පත්තිනි, වගේ නම් ඇයට කියෙන්නේ. ඒ අනුවයි. මේවා පත්තිනි යාගවලදී ගායනා කරන කවිවල එනවා. සිලප්පදිකාරම් පොතේත් මණිමේඛෙලාවේත් ඇගේ උපත ගැන කතා හම්බු වෙනවා.

එක ආත්මයක ඇය වෙළෙඳ කුලයක උපදිනව. ඇගේ නම කන්නගි. ඇය ළාබාල කාලෙදිම කෝවලන් හෙවත් පාලඟ කියන තරුණයාට සරණ පාවා දෙනවා. ඔහු බොහොම චපල අයෙක්‌. මාධවී කියන නළඟන සමග හාද වෙන පාලඟ සියලු ධනය ඇය නිසා නාස්‌ති කරනවා. කොහොමහරි පාලඟ සිය බිරිඳගෙ පා සලඹක්‌ අරගෙන මදුරාපුරයට යනව ඒක විකුණන්නට හිතාගෙන. ඔන්න එතකොට ඒ රටේ රජ බිසවගෙ පාසලඹකුත් නැතිවෙලා. සල්පිලකට ගිහිල්ලා මේ සලඹ විකුණන්න හදන කොට රාජ පුරුෂයන්ට ආරංචි වෙනවා. නන්නාඳුනන අයෙක්‌ පාසලඹක්‌ විකුණන්නට ඇවිල්ලා කියලා. පස්‌සේ පාලඟව අල්ලාගෙන කුදලාගෙන රජවාසලට ගෙනියනවා.

රජ බිසවගෙ ආභරණයක්‌ හොරකම් කළ වරදට මේ අහිංසකයව හිස ගහල මරල දානවා. මේ සිද්ධිය කන්නගියට ආරංචි වෙනවා. ඇය බොහොම දුකටත් කෝපයටත් පත්වෙලා මදුරාපුරය ගින්නකින් විනාශ කරනවා. ඊට පස්‌සේ ඇය ආපහු පාලඟව උපද්දනවා. තවත් ප්‍රවාදයකින් කියවෙනවා ඇය පාසලඹෙ බලයෙන් ගඟක්‌ දෙබෑ කරගෙන එගොඩ වූ බව. පත්තිනි දේවිය ගැන පන්තිස්‌ කෝල්මුරවල තවත් කතා තියෙනවා.

එක්‌තරා දුප්පත් ගොවියෙකුගෙ මී ගවයෙක්‌ හොරු ගන්නවා. ගොවියා ඒ හොරකම ගැන රජතුමාට පැමිණිලි කරනවා. ඒත් යුක්‌තිය ඉටු වුණේ නැහැ. පස්‌සේ ගොවිය සොලී රටට ගිහිල්ලා ඒ රජතුමාට කියනවා ඒ නඩුව. සොළී රජු ලංකාවට ඇවිල්ලා රජු නෙරපල දාල මෙහෙන් තව 12,000 කුත් අල්ලගෙන තමන්ගේ රටට යනවා. ඊට පස්‌සේ රජකමට ආපු ගජබා රජතුමා නීල මහා යෝධයත් එක්‌ක ඒ රටට ගිහිල්ලා අපේ පිරිසත් බේරගෙන එනවා. ඒ ගමනෙදි පත්තිනි දේවියගෙ සලඹත් ගෙනැවිල්ලා නවගමුව දේවාලෙ තැන්පත් කරනවලු. අදත් නවගමුව ප්‍රසිද්ධ මේ පත්තිනි දේවාලෙ නිසයි.

පත්තිනි දේවිය හා සම්බන්ධ ක්‍රීඩා විදිහට අං කෙළිය, පොල්ගැසීම, ඔලිඳ කෙළිය හා ලී කෙළියත් ප්‍රසිද්ධයි. මේවා අදත් පුරාණ ගම්වල සිදු වෙන කෙළි සෙල්ලම්. ගම්මඩු, පාන්මඩු හා දෙවොල්මඩු පත්තිනි දේවියට පූජා විදිහට පවත්වන දේවල්. ලංකාවේ පත්තිනි දේවාල 593 ක්‌ තිබුණ බව කියනවා. අද සමහර ඒවා විනාශ වෙලා. තමිල්නාඩුවෙයි කේරළ ප්‍රාන්තෙයි පත්තිනි දේවියට පූජා කරනවා හැබැයි එතෙන්දි ඇය කාලි හා දුර්ගා නමින් තමයි හැඳින්නේනේ. කාලි අම්මා කෝවිල් විදිහට තියෙන්නේ ඒව බවත් සමහරු කියනවා.

සිංහල බෞද්ධයන්ගේ තියෙන එක විශ්වාසයක්‌ තමයි සරම්ප, පැපොල වගේ බෝවන රෝග සුව කරගන්න මේ පත්තිනි දේවිය පිහිට වෙනවා. කියලා ඒව දෙවියන්ගේ ලෙඩ කියලා තමයි හඳුන්වන්නෙ. මේ ලෙඩවලදී පත්තිනි දෙවියන්ට බාර වෙනවා. ඒව ඔප්පු කරන්නේ කිරි අම්මලගෙ දානයක්‌ දීලයි. දානයට අමතරව දේවාලෙට ගිහිල්ලා බාරයකුත් ඔප්පු කරන අයත් ඉන්නවා. පත්තිනි දෙවියන්ගේ උපත සිහි කරන ගැමි පූජාවකුත් තියෙනවා. අඹ විදමන කියලා. ඒ අඹ විදමන කතාවෙන් කියන්නෙත් පත්තිනි උපතමයි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.