අන්තවාදී මුසල්මානුවන් අතින් වැනසීගිය විශ්වයේ ශ්‍රේශ්ඨතම දැනුම් ගබඩාව – නාලන්දා විශ්ව විද්‍යාලය …

ආසියාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක්ව පැවැති නාලන්දාව ලොවට මහා වියතුන්, බුද්ධිමතුන් බිහිකළ විශිෂ්ට දැනුම් ගබඩාවකි. වාර්තාගත ඉතිහාසය තුළ හමුවන ප්‍රධානතම විශ්වවිද්‍යාල අතරින් එකක් ලෙස නාලන්දාව සැලකේ. නැණවතුන්ගේ පා පහස ලැබූ රජවරුන්ගේ හා මහජනතාවගේ ගරු බුහුමනට පාත්‍ර වූ මේ භූමිය අද නටබුන් කලාපයකි. එය දකින කවරකුගේ වුවද හදවත කම්පාවීම නොවැළැක්විය හැකිය.

බිහාර් ප්‍රාන්තයේ රජගහනුවරට කි.මී. 10 ක් උතුරින් මෙම විශ්වවිද්‍යාල භූමිය දැකගත හැකිය. ක්‍රි. පූ. 3 වැනි සියවසේ ආරම්භ වූ නාලන්දා විශ්වවිද්‍යාලය භාරතයට පමණක් නොව සමස්ත ආසියාවටම ඉමහත් මෙහෙවරක් ඉටුකර තිබේ. එදා ඉන්දියාවේ බෞද්ධ අධ්‍යාපනය ඉතා දියුණු මට්ටමක පැවැති අතර, ඒ සඳහා විශ්වවිද්‍යාල පහක් බිහිව තිබිණ. නාලන්දාව, තක්ෂිලාව සහ වික්‍රමශිලා ඒ අතුරින් ප්‍රධාන ස්ථානයක් ගත්තේ ය. ඒ සියල්ලෙන් ද සෑම අංශයකින්ම වඩාත් දියුණු මට්ටමක පැවැතියේ නාලන්දා විශ්වවිද්‍යාලයයි. මෙය විවිධ ක්‍ෂේත්‍රයන්ට අදාළ විෂය රැසක් සඳහා කැප වූ ආයතනයක් විය.

මහා දාර්ශනිකයෝ වූ නාගර්ජුන, වසුබන්ධු, ශීල භද්‍ර ඇතුළු ශ්‍රේෂ්ඨ විද්වත්හු එහි ආචාර්යවරු වූහ. චීන ජාතික දේශාටකයකු වූ හියුං සාන් නාලන්දා විශ්වවිද්‍යාලය පිළිබඳ මෙසේ සඳහන් කර තිබේ.

‘’මෙහි බෞද්ධ භික්ෂූන් වහන්සේ දහස් ගණනක් නේවාසිකව ශිල්ප ශාස්ත්‍ර හැදෑරූහ. ඔව්හු සියල්ලෝම බොහෝ දක්ෂකම් හා උගත්කම් ඇත්තෝ වූහ. ඓතිහාසික තොරතුරුවලට අනුව මෙහි අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව පහළොස් දහසකට ආසන්නය. ආචාර්ය මණ්ඩලය එක්දහස් පන්සියයකට අධික වූහ.

විශ්වවිද්‍යාලය වටා සුවිසල් තාප්පයකි. ඇතුළත දේශනශාලා, සංඝාවාස, විහාර මන්දිර හා පොකුණු ආදිය තිබුණි.”

භාරතයේ සිසුන් පමණක් නොව චීනය, ජපානය, ශ්‍රී ලංකාව සහ ටිබෙටය ආදී රටවල සිසුන් දහස් ගණනක් ද මෙහි අධ්‍යාපනය ලබා තිබේ. ධර්මපාල නමැති ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ කලක් මෙම විශ්වවිද්‍යාලයේ ප්‍රධානත්වය දරා තිබේ.

ථෙරවාදය, මහායානය, බ්‍රාහ්මණ ආගම, දර්ශනය ආදිය පමණක් නොව තාරකා විද්‍යාව, වෛද්‍ය ශාස්ත්‍රය ඇතුළු විෂයන් ගණනාවක් මෙම අධ්‍යාපනය ආයතනය තුළදී ඉගෙනගත හැකිව තිබිණ. භාෂා දොළහක් පිළිබඳ හසල දැනුමක් තිබු ශිල භද්‍ර හිමියෝද කලක් මෙහි ප්‍රධානත්වය දරමින් සේවය කර ඇත්තාහ.

වර්ග මීටර 1, 50,000 ක පමණ භූමි භාගයක අද මෙම විශ්වවිද්‍යාලයේ නටබුන් දැකිය හැකිය. මෙහි ගොඩනැඟිලි සියල්ල උසස් ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව ඉදිකර තිබිණි.

ගුප්ත රාජ්‍ය සමයේ එනම් බුද්ද ගුප්ත තථාගත ගුප්ත, හර්ෂ වජ්‍ර යන රජවරුන්ගේ රාජ්‍ය සමයන්හිදී ද, පස්වැනි නවවැනි ශත වර්ෂයන්හි රජ කළ කුමාර ගුප්ත, දේවපාල යන රජවරුන්ගේ රාජ්‍ය සමයන්හිදීද නාලන්දාව ඉතා දියුණු මට්ටමකට පත්ව තිබී ඇත. අශෝක රජු ද මෙම අධ්‍යාපන ආයතනයේ දියුණුව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකළ බවට ඓතිහාසික සාධක හමුවේ.

චීන දේශාටයකු වූ හියුං සාන්ද මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත. හෙතෙම දර්ශනය, තර්ක ශාස්ත්‍රය, වියරණ, වෛද්‍ය විද්‍යාව සහ අතර්ව වේද යන විෂයන් හදාරා තිබේ. එකල මෙහි හිමිදිරියේ සිට රාත්‍රිය දක්වා ධර්ම සාකච්ඡා පැවැති බව හියුං සාන් සඳහන් කරයි. හියුං සාන්ට මෙම විශ්වවිද්‍යාලය මගින් ‘මෝක්ෂ දේව‘ යන ගෞරව නාමයද ලබා දී තිබේ.

හියුං සාන්ගෙන් පසු තවත් චීන සහ කොරියන් දේශාටකයන් එකොළොස් දෙනකු විශ්වවිද්‍යාලය නැරැඹීම සඳහා පැමිණ තිබේ. අසීම් සිං නමැති වන්දනාකරුවාද බොහෝ කලක් මෙම විශ්වවිද්‍යාලයේ නේවාසිකව සිටි බැව් හියුං සාන්ගේ ලේඛනවල සඳහන් වේ.

මෙහි ඇතැම් ශාස්ත්‍ර පීඨ මහල් දහයක් උසටද, තවත් සමහරක් මහල් හතරක් උසටද ගොඩ නඟා තිබුණි.

ලොවට ප්‍රාඥයන් දහස් ගණනක් බිහිකළ මෙම විශ්ව විද්‍යාලයේ අවසානය ඉතාමත්ම ඛේදජනකය. ක්‍රි.ව. 1193 දී මොහොමඩ් බක්තියාර් මෙම ප්‍රදේශයේ බලවතා බවට පත් විය. ඔහු පන්දහසක සේනාවක් මෙහෙයවා නාලන්දාව ගිනිබත් කරවීය. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ දහස් ගණනක් දන් වළදමින් සිටියදීම ජීවිතක්ෂයට පත්වූහ. විශ්වවිද්‍යාලය එකම ගිනි ගොඩක් බවට පත් විය. මෙහි මහා පරිමාණයේ පුස්තකාල ගණනාවක් තිබුණ අතර, ඒවා මාස හයක් තිස්සේ ගිනිගනිමින් තිබුණු බැව් පැවසේ. එසේම ධාන්‍ය ගබඩා මාස තුනක් තිස්සේ පිලිස්සෙමින් තිබී ඇත. මෑතකදී මෙම භූමියේ කරන ලද කැණීම්වලදී එසේ දැවී ගිය ධාන්‍ය කොටස් සහ මිනිස් ඇටසැකිලි ගණනාවක් හමු වී තිබේ.

මෙහි ගොඩනැඟිලි සියල්ල ඉදිකර තිබී ඇත්තේ තද රත් පැහැ ගඩොලිනි.

නාලන්දා විශ්ව විද්‍යාලය ගිනිබත් කොට ගිහි පැවිදි ශිෂ්‍යයන් දහස් ගණනක් මරු වසඟයට යැවූ මොහොමඩ් බක්තියාර් ගංවතුරකට හසු වී ජීවිතක්ෂයට පත් විය.

ක්‍රි.ව. 1199 දී බෙංගාලය යටත් කර ගැනීමෙන් අනතුරුව, තිබ්බතය ආක්‍රමණය කිරීම සඳහා ඉන්දියාව හා තිබ්බතය හරහා තිබූ දැවැන්ත ගංගාව තරණය කිරීමේදී හිටිහැටියේ ගලා ආ ගංවතුරකින් සිය සේනාවත් සමඟම ඔහුට මෙම ඉරණම අත් වූ බැව් පැවසේ.

නාලන්දා සරසවි භූමියේ පුරාවිද්‍යා කෞතුකාගාරයක් පිහිටුවා තිබේ. එය 1971 දී ආරම්භ කරන ලද්දකි. මෙහි දුර්ලභ ගණයේ ලිපි ලේඛන හා බුද්ධ ප්‍රතිමා රැසක් දක්නට ලැබේ. මෙකී ලිපි ලේඛන සියල්ලම කැණීම්වලදී හමුවූ ඒවාය. මයුර ගුප්ත සහ වෙනත් රාජ්‍ය සමයන්හි ජන සමාජයේ සංස්කෘතිය විදහා දක්වන අංග රැසක් මෙම කෞතුකාගාරයට ඇතුළත්ව තිබේ. තඹ තහඩු, තඹ කාසි, ශිලා ලේඛන, ගඩොල් මත ලියැවුණු ලේඛන, ඉපැරැණි වළං සහ පිලිස්සි ගිය සහල්ද මෙහි ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

නාලන්දා විශ්වවිද්‍යාලය යළි ගොඩනැඟීම පිළිබඳ ඉන්දීය රජයේ දැඩි අවධානය යොමු වී තිබේ. ඒ සම්බන්ධයෙන් වූ පනතක්ද, නොබෝදා ඉන්දීය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති අතර, මේ පිළිබඳ පෙරමුණ ගෙන කටයුතු කරනුයේ නොබෙල් සම්මානලාභී ඉන්දීය විද්වතකු වන ආචාර්ය අමර්ටියා සෙන් මහතා ය.

මේ පිළිබඳ වාර්තාවක් 2010 අගෝස්තු 5 වැනි දින හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ් පළ වී තිබිණ. එහි සඳහන් වන අන්දමට මෙම විශ්වවිද්‍යාලය යළි ගොඩනැඟීමට තීරණය කර ඇත්තේ අදියර ගණනාවකිනි. මේ සඳහා දැනට ඉන්දීය සැලසුම් කමිටුව මගින් වෙන්කර ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි පනහකි. එහෙත් ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම ඉන්දිය රුපියල් කෝටි 1005 කි.

ලෝමෆානු තඹ පත්තිරු හෙළිකරන මාලදිවයිනේ බෞද්ධ සංහාරය ...
වසර 198කට පසු දේශද්‍රෝහී කැප්පෙට්ටිපොළ නිදහස් ...
IFBC Home Page