Skip to main content

අනන්ත විශ්වයේ බුදුන්ට පමණක් දෙවැනි වූ ප්‍රඥා පහන සැරියුත් මහරහතන් වහන්සේ …

සාරිපුත්ත මොග්ගල්ලාන කියන නම් අපට පුංචිකාලෙ ඉදලම හුරුපුරුදුයි නේද යාලුවනේ. ඉන් මහා ඍද්ධ්මත් මහ මුගලන් මහ රහතන්වහන්සේ ගැන මම කලින් ලිපියක සදහන් කලා. අද අපි කථා කරන්නෙ සැරියුත් නැතිනම් සාරිපුත්ත නම් වූ විශ්වයක් පවා දනනැමූ උත්තමයන් වහන්සේ පිලිබදවයි‍. මේ විශ්වයේ පහල වූ මහා ප්‍රඥාසම්පන්නම පුද්ගලයන් අතරින් බුදුහිමියන්ට පමණක් දෙවෙනි වූ එකම උත්තම පුරුෂයා වන්නේ සැරියුත්නම් මේ මහා පුරුෂරත්නයයි.

සැරියුත් මහ තෙරුන් උතුරු ඉන්දියාවේ රජගහ නුවරට නුදුරින් පිහිටි නාලක බමුණු ගමේ වංගන්ත බමුණාට දාව රූපසාරී බැමිණිය ගේ කුසෙන් ඉපිද “උපතිස්ස” යන නම ලැබුවේය. සාරී බැමිණිය ගේ පුත්‍රයා නිසා “සාරිපුත්ත” යන නමින් ද ප්‍රකට විය.

උපතිස්ස තෙමේ පසු කලෙක රජගහ නුවර ධර්ම ප්‍රචාරයේ යෙදුණු අස්සජි මහ තෙරුන් වහන්සේ දැක පැහැදී අවසානයේ දහම් ඇස පහළ කර ගත්තේය. අස්සජි තෙරුන් වහන්සේ දේශනා කළ සතර පෑ ගාථාවෙන් පළමු පද දෙක අසා අවසන් වනවාත් සමඟ ම සෝවාන් ඵලයෙහි පිහිටියේය. පසුව තම මිතුරා වූ කෝලිතට ද තොරතුරු දන්වා බුදුරදුන් වෙත ගොස් “ඒහි භික්ඛු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවේය. ඉන් සති දෙකක් ඇවෑමෙන් පසු බුදුරදුන් රජගහ නුවර ”සූකරඛත” ලෙනේ දී සැරියුත් මහ තෙරුන් වහන්සේගේ බෑණනුවන් වූ “දීඝනඛ” පරිබ්‍රාජකයාට දේශනා කළ ධර්මය අසා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් විය. ඒ බව උන්වහන්සේ ථෙර ගාථා පාලියේ දී මෙසේ දක්වා තියෙනව.

”භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනිකෙකු හට ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව යොමු කළ කන් ඇති ව ඉතා හොඳින් ශ්‍රවණය කළෙමි. එය හිස් එකක් නොවීය. ඒ දහම් ශ්‍රවණය කළ මම සියලු කෙලෙසුන් නසා මහරහත් බව ලැබුවෙමි.”

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා ප්‍රඥාසම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්තේ සැරියුත් මහරහතන් වහන්සේ යි. එසේ ම බුදුරදුන් ගේ දකුණත් සර්ව තනතුර දැරුවේ ද ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපති තනතුර දැරුවේ ද සැරියුත් මහරහතන් වහන්සේ යි. සැරියුත් මහරහතන් වහන්සේ ගේ චරිතය තුළින් යහ දිවියකට කැමති ඕනෑ ම පුද්ගලයෙකුට ගත හැකි ආදර්ශයන් බොහෝ තියෙනව. ඒ බව උන්වහන්සේ ගේ චරිතය විමසීමෙන් මනාව ප්‍රකට කෙරේනව.

දිනක් සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුරදුන්ට නුදුරින් භාවනානුයෝගීව වැඩ සිටිය. මෙය දුටු බුදුරදුන් මෙසේ වදාළහ. “මහා දැවැන්ත විශාල පර්වතයක් නිශ්චලව මහ පොළොවේ පිහිටා තිබෙන්නේ යම් සේ ද එපරිද්දෙන් මෝහය යළි ඇති නොවන ලෙස විනාශ කළ භික්ෂුව විශාල පර්වතයක් මෙන් කිසිම සෙලවීමකට පත් නොවී සිටින්නේ ය.” තවත් වරක බුදුරදුන් වදාළේ “මාගේ ධර්ම රාජ්‍යයෙහි සේනාධිපති සැරියුත් මහ තෙරුන් වහන්සේ” බවයි. මෙසේ සැරියුත් මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ ලොව්තුරා බුදුරදුන්ගේ අග්‍ර ශ්‍රාවක වීම, මහා ප්‍රඥාසම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලැබීම, ධර්ම සේනාධිපති වීම යන මෙකී ප්‍රධාන ස්ථානාන්තර තුනක් ලැබී තිබුණි. පින්වත් යාලුවො දන්නව නේද සේනාපති තනතුරක වැදගත්කම කොයිතරම්ද කියල. බුදුහිමියන්ගෙ සංඝසේනාවෙ අධිපතිකම දැරුවෙ මේ සැරියුත් නම් වූ මහා පුරුෂ රත්නයයි. පිංවත් යාලුවනේ මට හිතෙන්නෙ සංඝ පිරිස පවුලක්නම් ඒ පවුලෙ වැඩිමලා සරරියුත් හිමියන් බවයි.

දිනක් රජගහ නුවර වාසය කරන එක්තරා දුගී මිනිසෙක් අන් සතු අඹ උයනක් රැකබලා ගනිමින් සිටියේය. සැරියුත් තෙරුන් වහන්සේ දහවල් වේලෙහි මෙම උයන සමීපයෙන් වැඩම කළහ. තෙරුන් වහන්සේ දුටු එම මිනිසා මහ තෙරුන් උයනට වැඩම කරවා තේරුන් ගේ කැමැත්ත අනුව පොකුණෙන් දිය ගෙන නහවා පොකුණෙන් පැන් ගෙන පෙරා පානයට සුදුසු ලෙස සකස් කර පිළිගැන්වීය. අනතුරුව තෙරුන් වහන්සේ පැන් පූජාවේ අනුසස් ප්‍රකට කර දහම් දෙසීය. පසු කලෙක එම සැදහැති පින්වත් පුරුෂයා මිය පරලොව ගොස් කළ පින්කමට අනුව තව්තිසා දෙව්ලොව දෙවියන් අතර බබලමින් අප්‍රමාණ දිව්‍ය සම්පත් ඇති ව උපත ලැබුවේය.

තවත් දිනක සැරියුත් තෙරුන් වහන්සේ විහාර මළුවේ සක්මන් කරමින් වැඩ සිටියහ. උන්වහන්සේට නොදැනුවත්ව ම අඳනයේ කෙළවරක් බිම ගෑවෙමින් තිබුණි. මේ බව දුටු සත් හැවිරිදි සාමණේර නමක් ඒ බව දැක තෙරුන් වහන්සේ වෙත පැමිණ එය පෙන්වා දුන්නේය.

එය ඉතා ගෞරවයෙන් පිළිගත් සැරියුත් තෙරුන් වහන්සේ අඳනය සකසා හැඳ සාමණේරයන් වහන්සේ වෙත පැමිණ “ආචාරිනී, අඳනය සකසා ගත්තෙමි. දැන් හොඳදැ”? යි ඇසූ සේක. “ස්වාමීනි, දැන් නම් හොඳය” යි සාමණේර නම කීවේය. එවිට සැරියුත් මහ තෙරුන් වහන්සේ “එදින ම පැවිදි බව ලබා ගත් සත් හැවිරිදි සාමණේර නමක් වුවත් මා හට අනුශාසනා කළේ නම් ඒ සත් හැවිරිදි කුඩා සාමණේර නමගේ අනුශාසනය පවා මම හිස් මුදුනින් පිළිගන්නෙමි” යි පවසා ඒ සාමණේර නමට ස්තූති ප්‍රශංසා කළ සේක. මෙය සැරියුත් මහ තෙරුන්ගේ නිහතමානී ගුණය මැනවින් ප්‍රකට කරවන කතා පුවතකි.

මුන්වහන්සේ ගේ නිහතමානී ගුණය මෙන් ම ඉවසීම ද පුදුම දනවන සුළුයි. දිනක් සැරියුත් තෙරුන් වහන්සේ මහ මඟ වඩින විට එක්තරා පුරුෂයෙක් උන්වහන්සේගේ ඉවසීම සැබෑවක්දැ’යි පරීක්‍ෂා කරන්නට සිතා උන්වහන්සේගේ පිටුපසින් ගොස් පිටට තද පහරක් ගැසුව. තෙරුන් වහන්සේ ඒ ගැන කිසිම තැකීමක් නොකර වැඩම කළා. උන්වහන්සේගෙන් කිසිම ප්‍රතික්‍රියාවක් නොලැබූ පුරුෂයා ඉතා දුකටත් දැඩි කනගාටුවටත් උනා. තෙරුන් වහන්සේට වැඳ සමාව ඉල්ලා සිය ගෙට වැඩම කරවා ගෙන ගොස් දන් ද පිළිගැන්වූවා. තෙරුන් වහන්සේට පහර දුන් පුවත ඇසූ මිනිසුන් එම පුරුෂයාට පහර දෙන්නට සූදානම් වන විට එයින් ඔහු මුදවා ගත්තේ ද සැරියුත් මහ තෙරුන් වහන්සේයි. මේ ආදී තොරතුරු රැසක් සැරියුත් මහ තෙරුන් වහන්සේගේ චරිත කථාව විමසීමෙන් දත හැකි යි.

ශාරිපුත්ත මහාරහතන් වහන්සේ දිනපතා පිණ්ඩපාතයේ වැඩම කරන්නේ අනිකුත් භික්‍ෂූන් වහන්සේට පසුවයි. විහාර භූමියේ සියලු තැන ඇවිද බලා පිරිසුදු නොකළ ඒ ඒ ස්ථාන පිරිසුදු කොට කුටි තුළ අපිළිවෙළට දමා ඇති සිවුරු පිරිකර සකසා නවා යෑම උන්වහන්සේගේ සිරිත විය. ගිලන්හලට වඩින සැරියුත් මහාරහතන් වහන්සේ ගිලනුන්ට උපස්ථානය කිරීමේ වැදගත් කම කුඩා සාමණේර හිමිවරුන්ට කියා දී උපස්ථාන කටයුතු වල යොදවනු ලබයි. අග්‍රශාවකයන් වහන්සේ කියා කිසිවිටෙක ඉදිරියෙන් වැඩම වීමට හෝ සෙසු අය පසු කර වඩින්නට කිසිවිටෙක උත්සුක නොවූහ. කාරුණිකව නිහතමානිව ඉවසීමෙන් හැම නිමේශයක්ම ගත කළ සැරියුත් මහරහතන් වහන්සේගේ ඉවසීමේ ගුණය රටේ එකල නන්දෙස ප්‍රකටව පැවති බැවින් එක් බමුණෙකු එය පරීක්‍ෂා කරන්නට සෙනඟ රැස්ව සිටින ස්ථානයක දී උන්වහන්සේට අවමන් කළේ ය. උන්වහන්සේ එය ගණන් නොගෙනම වැඩම කළ අතර එය දුටු පිරිස බමුණා පසු පස එළවාගෙන පැමිණියේය. එම බමුණා සැරියුත් මහරහතන් වහන්සේගේ කුටියේ සැඟවී බේරුණේ ය. එපමණක්ද නොව සැරියුත් මහරහතන් වහන්සේ ඔහු තම ශිෂ්‍යයකු ලෙස ද පැවිදි කරගන්නට තරම් කාරුණික වූහ.

සැරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වඳින විට ඒ සමගම තම ආචාර්යයන් වහන්සේ වන අස්සජි මහ රහතන් වහන්සේට වන්දනා කරන්නට අමතක නොකළහ. උන්වහන්සේ නැති විට ඒ දෙසට වඳින්නට තරම් ගුරු ගෞරවයෙන් භක්තියෙන් ක්‍රියා කළහ. මෙය දුටු ඇතැම් අය බමුණු සිරිත් තාම අත්හරින්නට නොහැකි වී ඇතැයි ඇනුම් පද කීවා. එහෙත් සැරියුත් මහරහතන් වහන්සේ තම ගුරු දේවයන් වහන්සේ යම් දිසාවක ද ඒ දිසාවට වඳින එක අත්නොහළහ. අස්සජි නම් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කිසියම් දිසාවක වෙසෙත්ද මම එදෙසට හිසලා සැතපෙමියි සිතමින් ඒ පුරුද්ද අත්නොහල සේක.

යාලුවනේ එක් කාලයක මුගලන් හිමියන් හා විවේකී සුවයෙන් කොබෝ කදුකරයෙහි වැඩ සිටි සැරියුත් හිමියන් වහන්සේ සද එළිය ඇති සුන්දර රාත්‍රියක ගල්තලාව මත සමාධි සුවයෙන් වැඩ සිටිය. එදා උන්වහන්සේ හිස මුඩුකරපු දවසක් නිසා සද එළියට හිස දිලිසුනා. උතුරු දිසාවෙන් දකුණු දිසාවට වැඩම කල යක්ෂ යාලුවෙ දෙන්නෙක් සැරියුත් හිමියන්ගෙ දිලිසෙන හිස දැක්ක. නන්ද නම් යක්ෂයා තමන්ගෙ යාලුවගෙ කීම අහන්නෙ නැතිව සැරියුත් අත මිට මොළවා දැඩි පහරක් එල්ල කලා. ඒ පහර කොතරම් බලවත්ද කියනවනම් මහ ගල් පර්වතැයක් පවා දෙබෑවෙනව. ඒත් ඉවසීමේ ගුණ ඇති සැරියුත්නම් මේ මහා පුරුෂරත්නය ඒ පහර නොදැනුන ගානට ඉවසා සිටිය. මේ ස්ථානයට පැමිනි මුගලන් හිමියන් පවා ඒ ඉවසීම ගැන පුදුම උනා. ඒ අවස්ථාවේ එතනට ආලෝක ධාරාවක් විහිදවමින් බුදුපියාණන් වහන්සේ සැරියුත් හිමියන්ගේ ඉවසීමේ ගුළණය වර්ණනා කලා.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස විනය ශික්‍ෂා පණවන ලෙස පළමුව ඉල්ලා සිටියේ ද සැරියුත් තෙරුන් වහන්සේ ය. මෙසේ සම්බුද්ධ ශාසනයට ඉතා ලැදිව කටයුතු කළ මුන්වහන්සේට “උපසේන, චුන්ද, රේවත” යනුවෙන් සොහොයුරෝ තිදෙනෙක් වූහ. මේ තිදෙනාම බුදු සසුනේ පැවිදි බව ලැබ රහත් වූහ. “චාලා, උපචාලා, සිසූපචාලා” යනුවෙන් සොහොයුරියෝ තිදෙනෙක් ද වූහ. මේ සැමත් බුදු සසුනේ පැවිදි බව ලැබ රහත් වූහ. හැම අතින් ම පැහැදීම් ඇති භික්ෂූන් අතුරින් උපසේන තෙරුන් අග්‍ර වූ අතර ආරණ්‍යවාසී භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලැබුවේ රේවත තෙරුන් වහන්සේ ය. මෙසේ සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ සහෝදර, සහෝදරියන් සියල්ල ම මග ඵල නිවන් අවබෝධ කර ගෙන සිටියත් මව වූ රූපසාරි බැමිණිය මිසදිටු ගෙන සිටියාය.

යාලුවනේ සැරියුත් තෙරුන් වහන්සේට කලින් කල හට ගන්නා උදරාබාධයක් උනා. මෙය අවස්ථා කිහිපයකදී ම හට ගත් අතර අවසානයේ එය ඉතා දරුණු ලෙස හට ගත්ත. මෙයට හේතු විමසා බැලූ තෙරුන් වහන්සේ දුටුවේ තමන් වහන්සේ ගේ අවසාන සමය ළඟා වී ඇති බව යි. පෙර බුදු සසුන්වල පවා අගසව්වන් බුදුරදුන්ට පළමුව පිරිනිවන් පාන බව දුටු උන්වහන්සේ බුදුරදුන්ගෙන් පිරිනිවන් පෑමට අවසර ගෙන තමන් වහන්සේගේ උපන් ගම වූ නාලක ගමට වැඩම කළහ. ඒ වෙන හේතුවක් නිසා නොව පිරිනිවන් පෑමට පෙර තමන් වහන්සේ ගේ මව වූ රූපසාරී බැමිණිය සම්මාදිට්ඨියට ගැනීමේ අරමුණ ඇතිව යි.

කෙසේ හෝ වේවා අවසානයේ නාලක ගමේ දී දෙව් බඹුන්ගෙන් වන්දනාමාන මහා සත්කාර ලබන සිය පුත් සැරියුත් මහ තෙරුන් වහන්සේ දුටු සාරි බැමිණිය පුදුමයට පත් උනා. බමුණු දහමෙහි අදහන්නේ බ්‍රහ්මයයි. තමන් අදහන බ්‍රහ්මයා මවා සිය පුතුට වන්දනා මාන කරන්නේ නම් පුතුගේ ගුරුවරයාණන් කෙසේ අයකුවේදැයි බැමිණිය විශ්මයට පත්උනා. තෙරුවන් ගැන පැහැදීම ඇති වූ කල්හි තෙරුන් වහන්සේ නව අරහාදී බුදු ගුණ ප්‍රකට කරමින් ධර්මය දේශනා කළ සේක. දේශනාව කෙළවර රූපසාරී බැමිණිය උතුම් වූ සෝවාන් ඵලයට පත් වූවාය. අනතුරුව රැස්ව සිටි භික්ෂූන් ප්‍රධාන සියලු දෙනාට ධර්මය දේශනා කර දකුණු ඇලයෙන් සැතපී පිළිවෙළින් ධ්‍යානයන්ට සම වැදී අනතුරුව අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.

පසුව උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළහ. ආදාහනයෙන් පසුව ශේෂ වූ අස්ථි ධාතු චුන්ද තෙරුන් වහන්සේ බුදුරදුන්ට භාර කළේය. බුදුරදුන් එම ශාරීරික ධාතු පිළිගෙන සැරියුත් තෙරුන් වහන්සේ ගේ ගුණ නොයෙක් ලෙසින් ප්‍රකට කර එම ධාතු නිදන් කර සෑයක් ද කරවූහ.

ධර්මාශෝක මහාධිරාජයා සමයේ දී මොග්ගලීපුත්තතිස්ස තෙරුන් ගේ උපදෙස් මත සැරියුත් තෙරුන් ගේ එම ධාතු ස්තූපය විවෘත කරවා ධාතු ගෙන දඹදිව ස්ථාන කිහිපයක ස්තූප කරවීය. ඒ සෑම තැනක ම මුගලන් මහ රහතන් වහන්සේගේ ද ධාතු තැන්පත් කෙරිණි. මහා ප්‍රඥා සම්පන්න භික්ෂූන් අතුරින් අගතැන්පත් දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ වදාරති.

”මේ මුළු සම්බුද්ධ ශාසනයේ ම බුදුරජාණන් වහන්සේට පසුව ප්‍රඥාවෙන් අග්‍රස්ථානයේ සිටින්නේ මම යි. මට සමානයෙක් මේ බුද්ධ ශාසනයේ පෙනෙන්නට නැත.”

එවන් මහා ප්‍රඥා සම්පත්තියෙන් පිරී ඉතිරීගිය ගුණබෙලෙන් යුතු මහා සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතන්වහන්සේගේ උතුම් ගුණ කද අප ජීවිතයටද සම්බන්ධ කරගැනීමට මහන්සි ගනිමු.
මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු මාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

Join the discussion 4 Comments

  • Akalanka says:

    උතුම් ධර්මදාන පිංකමේ ආනිසංස බලයෙන් සටහන අවසානයේ සදහන් කල ඔබගේ උතුම් අරමුණ මුදුන් පත් වේවා !!! පතන්නා වූ බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට උතුම් ප්‍රඥාව පහලවේවා !!!!

  • කේෂාන් අධිකාරි says:

    සාධූ සාධූ සාධූ ධර්ම දානය ඔබේ සියලු පැතුම් ඉෂ්ඨාර්ථ සිද්ධිය පිණිසම වේවා…..!!! ඔබේ විස්තරය ඉතා අගනාය. මතු පතන්නාවූ භවයක පතන බෝධියකින් නිර්වාණය පිමිස ඔබප මේ පින් හේතු වේවා…… තෙරුවන් සරණයි

  • Janith says:

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා…!!!

  • No name says:

    නිවනම වෙත්වා…!!!

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.