අධාර්මික රජුගේ කථාව …

මේ බෞද්ධ රටට බෝසත් රජෙකු අවශ්‍යයැයි කියන්නේ ඇයිදැයි පහත ලිපියෙන් ඔබට පැහැදිලි වනු ඇත. අපේ රට මෙතරම් පිරිහීමට පත් වී ඇත්තේ ඇයිදැයි යන්න ඔබට මේ කථාව කියවීමෙන් මනාව වැටහේවි …

කාශ්‍යප බුදුන්ටත් ගෞතම බුදුන්ටත් අතර කාලයෙහි අතිදේව රජුගේ පුත්‍ර වූ රජෙක් විය. හෙතෙම ධාර්මික උවත් ධනයෙන් හීන විය. ධනය රැස් කරනු කැමති හෙතෙම ඇමතිවරුන්ට මෙසේ කීය. “ මිත්‍රවරුනි, රාජ කෝෂයන් බලමින් අවිද්ද මට එහි ධනය හීන වී තිබෙන බව පෙනිනි. එබැවින් එය ධාර්මික සේ පිරවිය යුතුය. අධාර්මික ලෙස නොපිරවිය යුතුය. එය සමාකාරයෙන් මිස විෂමාකාරයෙන් නොකල යුතුය. ” ඒ කීම ඇසූ එක් ඇමතියෙක් “ ජනපදය සමෘද්දය, ජනපද වාසීහු රජුට ධනය දෙත්වාරන් රිදියෙන් පිරවූ බොහෝ භාජන ගෙයක් පාසා වෙති, මිනිසුන්ට අයත් කෝටි ගණන් රන්කාසි ඇත්තාහ” යි කීහය. “ මිත්‍රය එසේ නොකියව, අධර්මය නොපවතීවා, ධාර්මිකව මියයාම යහපත් උවත් අධාර්මිකව ජීවත්වීම අයෝග්‍යය. අපි දෙදෙන අප්‍රකට වෙශයෙන් රටේ ඇවිද රටේ ඇති ධනය විමසා බලමු”යි රජ කීය.

ඒ දෙදෙන කිලිටි වස්ත්‍ර ඇදගෙන ශරීර අවයවද වෙනස් කරගෙන ඇවිදිමින් එක් ගමකට පැමිණියහ. එහි එක් ගෙයකට ගිය ඔවුහු ගෘහණිය අමතා “මෑනියනි, අපි මගියෝ වෙමු. ඔබගෙන් කෑම කන්ට කැමැත්තෙමු”යි කීහ. “දරුවනි එව්, මේ පැනවූ ආසනවල හිදගනිව්. කැමති සේ අනුභව කොට යව්. ” යයි ගෘහණිය කීහ. ඔවුන් ආසනවල හිදගත් පසු ආහාර සම්පාදනය කල ඕ කොමෝ ඔවුන් සියුමැලි ශරීර ඇත්තන් බව දැක “ දරුවනි, පිරිසිදු උක්පැණි හා අනුභව කරනු කැමැත්තෙහුද, නැතහොත් දීකිරි සමග හෝ ගිතෙල් සමග අනුභව කරනු කැමැත්තතෙහුදැයි මට කිවමැනව ”යි කීහ. ඇගේ බස් ඇසූ දෙදෙන ශාන්ත සිතැතිව “ මෑණියනි උක් පැණි සමග දෙව”යි කීහ. ඔතොමෝ යහපතැයි කියා පිරිසිදු භාජනයක් ගෙන උක් වත්තට ගොස් උක් ගසක් කඩා පැණි බේරාගැනීම සදහා එය අත්වලින් ඇඹරීය. මුලු ශක්තියෙන් ඇඹරීම කලත් පැණි බින්දුවක්වත් නොවැගුරුණි. ඉක්බිති උක් ගස මිරිකා අඹරන ස්ත්‍රිය දුටු ඔවුහු ගෘහණියගෙන් මෙස් විචාලහ. “ඔබ දෑතින් උක්ගස් කඩක් අඹරන නමුත් වේලුනු උක් ගසේ පැණි වැගිරීමක් කොයින්ද? ” ගෘහණිය මෙසේ කීය “ දරුවනි, පෙර මම මෙසේ උක් ගස් ඇඹරුවෙමි. පුරුක් දෙකක් අතරේ නැළියක් පමණ පැනි තිබිණි. ” “ මෑණියනි, තිනම් වරදක් නිසා මේ උක් ගස වියළී ගියේදැයි අප ඔබගෙන් විචාරමු”යි ඒ දෙදෙන කීහ. “ දරුවෙනි, රජ තෙම ලෝභීය, නොසතුටු සිතැත්තේය, ලෝභයෙන් යුතුව තමා කැමති දේ කරන්නේය. ඒ වරදින් උක් ගස්වල හා අන් ගස්වල රසය වියළී ගියේයැයි මම සිතමි”යි ගෘහණිය කීය.
“ මෑණියනි, ලෝභී වූ රජ කුමක් කරන්නේද? ලෝකයාගේ පිරිහීම හෝ අභිවෘද්ධිය ඔහු හා සම්බන්ධ වන්නේ කෙසේද?” රජ ඇසී. ඕතොමෝ මෙසේ කියයි. “ මේ තෙමේ මවක් හෝ පියෙකු මෙන් ලෝකය පාලනය කෙරේනම් රට වැසියෝ සුවසේ ජීවත් වෙති, අධර්මය පවත්නා රජ තෙමේ දරුණු වෙයි. ඒ නපුරු රජුගේ වරදින් ලෝකය වහා විනාශ වේ. නොකල්හි වැසි වසී. සුදුසු කල්හි වැසි නොවසී. රජු අධාර්මික වූ විට වැසි වැසීම විෂම වේ. මේ අධාර්මික රාජ්‍ය කාලයෙහි හැල් වී ආදියද, මුං මෑ ආදියද පිරිහෙති. නැතහොත් විෂම ලෙස පැසෙති. මිහිරි රස, තුලු රස, තිත්ත – කසට -ලුණු රස යන මොහු නීරස වෙති. අල හා ගෙඩි වර්ගද හැම ඖෂධාදීන්ගේ ඕජාද අඩුවෙති. (එක් වරක් ගෙඩි හටගෙන මැරී යන මිරිස් ආදී ඖෂධ මේ ගණයට අයත් වේ. ) දුර්ලභ වෙති. වංචා කිරීම්ද, හෙට්ටු කිරීම්ද, කපටිකම්ද සොරකම් හා පරදාරික කර්මයද යන හැම අනර්ථයෝම වැඩෙත්, කිරි දෙන්නා වූ එළ දෙන් මී දෙන් ආදීහු කිරෙන් පිරිහෙති. මල් හා ගෙඩි උපදවන ගස්වල මල්ද ගෙඩිද අඩුවෙති, රජු අධාර්මික වූ විට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේද, අන්‍ය දෘෂ්ඨි ගත්තන්ගේද, සිල් තමස් ගුණ පිරිහෙති. අධාර්මික රජු ආශ්‍රය කරන පිරිසද දශ විධ සංග්‍රහයෙන් පිරිහේ. ධර්මයේ පවත්නා කරුණා සිතැති රජෙක් ඇති කල්හි ඒ යහපත් රජුගේ තේජසින් ලෝකය වහා දියුණු වෙයි. එකල යෝග්‍ය කල්හි වැසි වසී. නොකල්හි වැසි නොවසී. හැම තැනම සමසේ වසී. රජු ධරාමික වූ විට මිහිරි රස – කුලු රස – තිත්ත රස – කසට රස – ලුණු රස යන මොවුහු ස්වකීය ස්වකී රසයෙන් ආඪ්‍යවෙති. එවැනි කාලයෙහි හැම ඖෂධීය ජාතීන්ගේ ඕජාවෝ බහුලද ශක්තිමත්ද වෙති. වංචා කිරීම්, නැවත ඇවිස්සීම්, කපටිකම් යන මොවුහුද, සොරකම්, පරදාර සේවනය ආදී පව්කම්ද, නැතිවෙති. තිරි දෙන්නු වූ දෙනුන්ගේ කිරි බහුල වෙති. මල් හා ගෙඩි උපදවන වෘක්ෂයෝ බොහෝ මල් හා ගෙිඩි උපදවති. රජු ධාර්මික වූ කල්හි මහණ බමුණන්ගේද, පැවිද්දන්ගේද සිල් හා තපස් අභිවෘද්ධියට පැමිණෙති. ලෝභය හා ද්වේශය නිසා පිරිහෙන දුෂ්ට නපුරු රජුගේ කාලවලදී ගුණය සැගවේ. ගුණයාගේ වැඩීමද නවතී. රජෙක් ධර්මයෙන් රාජ්‍ය කෙරේද හේ ස්වර්ගයට යයි. අධර්මයෙන් රාජ්‍ය කෙරේද අපායට යයි. කීර්තිමත් පෞරාණික රජවරු ධර්මයෙන් ලෝකය පාලනය කලහයි මට අසන්නට ලැ‍බේ. ” කීවාය.

ගෘහණියගෙන් උක් ගස වියලී යාමේ හේතුව ඇසූ රජ ඇමතියා දෙස බලා මෙසේ කීය. ලෝභයෙන් යුත් සිත ඉපදෙවූ පමණින් මේ හැම රසයෝ වියළී ගියහ. යම් කලෙක ඒවා ගනිම් නම් එදා සිදුවන දේ කුමට කියම්ද? අධර්මයෙන් යුක්තව ධනය රැස්කොට ඇත්, අස්, ගවාදීන් පෝෂණය කොට නරකයට යන්නේය. අධාර්මික ධනෝපාර්ජනයෙහි දෝෂය ඔබ විසින් මෙසේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්වන ලදි. මම හැරී යන්නෙමි. මම ධනය රැස් කිරීමෙන් වැඩක් නැත. ඒ රජ එතැනින් නැවතී ධර්මයෙන් රාජ්‍යය කොට ආයුෂ කෙළවරදී ස්වර්ගයට ගියේය. මෙසේ මෙහි දැක්වූ ධර්මය මෙලොව අභිවෘද්ධියද පරලොව සුගතියද ගෙන දෙයි.

සීහළවත්ථුවේ සිංහල අනුවාදනයයි. අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධ දත්ත මහ නාහිමියන්ගේ ඉතා පැරණි සිංහල බණකථා පොතින් උපුටාගන්නා ලදි.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මමඑරන්ද ලක්මාල්ද සිල්වා ..

මලකුණු සිරුරෙහි බැද මාරයාට පාඩමක් ඉගැන් වූ උපගුප්ත තෙරුන් වහන්සේ ...
කැලණි ගං පතුලේ අඩි හයක් උස උමගක් ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.