අත්ථදස්සි බුද්ධ වංශය ( Aththadassi Buddha Wanshaya ) - IFBC Organization | Dhamma

එ ම මණ්ඩ කල්පයෙ හි නරශ්‍රේෂ්ඨ වූ අත්ථදර්ශී නම් බුදුහු මහත් වූ මෝහාන්දකාරය නසා උතුම් සම්බෝධිය ට පැමිණියාහු ය. මහබඹහු විසින් අයදිනා ලද්දේ දම්සක් පැවැත්වූ හ. දසදහසක් සක්වල දෙවියන් සහිත ලෝකයා අමයෙන් සැතැප්වූ සේක.

ඒ ලෝකනාථයන් වහන්සේ ගේ ද, ධර්මාවබෝධයන් තුනක් විය. කෙලලක්ෂයක් සත්නට පළමුවැනි ධර්මාවබෝධය වී ය.මහර්ෂී වූ ඒ අත්ථදස්සි බුදුන් ට ද, විගත රාගාදී මළ ඇති සන්හුන් සිත් ඇති තාදී ගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනක් විය.

අනූදහසක් රහතුන් ගේ ප්‍රථම සමාගමය විය. අසුඅටදහසක් රහතුන් ගේ දෙවන සමාගමය විය. අනුපාදාවිමුක්තියෙන් කෙලෙසුන් කෙරෙන් මුත් පහ වූ රාගාදී මළ ඇති මහර්ෂි වූ සැත්තෑඅටදහසක් ශ්‍රාවකයන් ගේ තුන්වැනි සමාගමය විය.

එ සමයෙ හි මම උග්‍ර වූ තපස් ඇති පෘථිවියේ ශ්‍රේෂ්ඨ ය යි සම්මත නමින් සුසීම නම් වූ ජටිලයෙක් වීමි. පරසතු මදාරා දිවකුසුම් දෙව්ලොවින් ගෙනවුත් සම්බුදුන් පිදීමි.
මහාමුනි වූ ඒ අත්ථදස්සි බුදුන් ද, මේ තෙම මෙයින් අටළොස්සියක් වන කල්පයේ බුදුවන්නේ ය යි මට විවරණ දුන් සේක. එ කල් හි තථාගතයෝ, රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන් වීර්යය වඩා දුෂ්කරක්‍රියා කොට අජපාල නම් නුග රුක මුල හිඳ එ හි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙර ට එළඹෙන්නා හ. පස් මරුන් පරදා ගෞතම නමින් ඇසතු බෝ රුක මුල බුදු වන්නේ ය.

මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය.   පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. “කෝලිත” ද,  “උපතිස්ස” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ.   “ආනන‍ද”නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. “ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි.

යම් කලක අත්ථදස්සි බුදුහු දෙව්ලොව චාරිකා කළ සේක් ද, එ කල් හි කෙලලක්ෂයක් දෙනා ට දෙවැනි ධර්මාවබෝධය විය. යළි යම් කලක බුදුහු පියරජ සමීපයෙ හි දහම් දෙසූ සේක් ද, එ කල් හි කෙලලක්ෂයක් සත්නට තුන්වන ධර්මාවබෝධය විය. අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.   අත්පොලසන් දෙත්.   සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ අත්ථදස්සි බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.

අත්ථදස්සි බුදුරදුන් ගේ ද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් දම් පිරීම පිණිස මත්තෙහි පසු ව වතක් ඉටුයෙමි.

ශාස්තෘ වූ ඒ අත්ථදස්සි බුදුරදුන් ට ශෝබන නම් නුවරක් විය. පියතෙම සාගර නම් ක්ෂත්‍රීයයෙක් විය. මව්තොමෝ සුදස්සන නම් විය. මනා ව සරසන ලද තිස්තුන්දහසක් පරිවාරස්ත්‍රීහු විය. අගමෙහෙසිය විශාකා නම් වූවා ය. පුත් තෙම සෙල නම් විය.

සතරපෙර නිමිති දැක අශ්වයානයකින් මහබිනික්මන කළ හ. පුරා අටමසක් ප්‍රධන් වීර්යය වඩා පස්මරුන් දිනා බුදු විය.

මහත් වීර්යය ඇති නර ශ්‍රේෂ්ඨ වූ මහත් යසස් ඇති අත්ථදස්සි බුදුරදුන් මහබඹුන් අයදිනා ලද්දේ අනොම නම් උයන් හි දී දම්සක් පැවැත්වූ සේක.

අත්ථදස්සී ශාස්තෘන් වහන්සේ ට “ශාන්ත” ය, “උපශාන්ත” ය යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම “අභය” නම් වී ය. “ධර්මා” ද, “සුධර්මා” ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝරුක “සපු” ගස ය යි කියනු ලැබේ. “නකුල” ද, “නිසඟ” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වු හ. “මකිලා” ද, “සුනන්දා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ.
අසමසම වූ අසූරියනක් උස් වූ ඒ බුදුහු ද, සුපිපි සල් රුකක්‌ සෙයින් ද, පුන්සඳ මෙන් බබළයි. එ කල් හි අත්ථදස්සී බුදුන් ගේ නොයෙක් කෙලසියගණන් පියවිරැස් උඩ යට දසදිග් හි හාත්පස යොදුනක් පමණ තැන පැතිරෙයි.

නරශ්‍රේෂ්ඨ වූ හැම සත්නට උතුම් වූ මුනි වූ පසැස් ඇති ඒ අත්ථදස්සී බුදුන් ද, ලක්ෂයක් අවුරුදු ලොව වැඩවිසූ හ. අසමසම වූ ඒ බුදුරද තෙම ද,  අසම වූ ඒ අගසව් දෙනම ද,  යන සියල්ල අතුරුදන් විය.   සියලු සංස්කාරයෝ හිස්වූවාහු නො වෙත් ද?

ජිනොත්තම වූ අත්ථදස්සී බුදුහු අනොමාරාමයෙ හි පිරිනිවිය හ. ඒ ඒ පෙදෙස් හි ධාතු පැතිරවීම විය.

[ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි, අත්ථදස්සී බුද්ධවංශය]

ධම්මදස්සී බුද්ධ වංශය ( Dhammadassi Buddha Wanshaya )
පියදස්සී බුද්ධ වංශය ( Piyadassi Buddha Wanshaya )

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.